Wednesday, April 9, 2025
Home » මාතර උසාවි ගබඩාවෙන් පන්නන්න හැදූ ගෝණියක එතූ අවිය සොයාගනී

මාතර උසාවි ගබඩාවෙන් පන්නන්න හැදූ ගෝණියක එතූ අවිය සොයාගනී

by mahesh
December 8, 2023 1:01 am 0 comment

ගයාන් කුමාර වීරසිංහ

– අවි හතරක් දැනටමත් විකුණලා
– උසාවි සේවකයෝ 3ක් ව්‍යාපාරිකයෝ 3ක් අත්අඩංගුවට

මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබී ගිනි අවි සොරාගෙන විවිධ පුද්ගලයන්ට අලෙවි කිරීමේ ජාවාරම ගැන විමර්ශන පවත්වන මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් අත්අඩංගුවේ සිටින අධිකරණයේ සේවයේ නිරත බහුකාර්ය සංවර්ධන නිලධාරීන් තිදෙනාගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ හෙළිවූ තොරතුරුවලට අනුව අධිකරණයෙන් පැන්නීමට සූදානම් කර තිබුණු ගිනි අවියක් ඊයේ (7) සොයාගෙන ඇත.

ගෝණියක ඔතා නඩු භාණ්ඩ ගබඩාවේ ස්ථානයක සඟවා තිබුණු එම ගිනි අවිය තිබී සොයාගත් බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

එම අවිය අමෙරිකාවේ නිෂ්පාදිත මිලිමීටර 9 වර්ගයේ පතරොම් යෙදිය හැකි එකක් බව ද එම නිලධාරියා කීය. 2014 වසරේදී මාතර තුඩාවේ සිදු කළ මිනිස් ඝාතනයකට යොදාගත් ගිනි අවියක් වන එය අධිකරණයට පොලිසිය මඟින් භාරදී තිබූවක් බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

මෙම බහුකාර්ය සංවර්ධන නිලධාරීන් තිදෙනා විසින් අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවෙන් සොරාගත් ගිනිඅවි දෙකක් මිල දී ගෙන ඒවා ළඟ තබාගෙන සිටි ව්‍යාපාරිකයන් දෙදෙනකු ද පෙරේදා (06) මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගත්තේය.

රඳවා ගැනීමේ නියෝග මත පොලිස් භාරයේ තබාගෙන විමර්ශන පවත්වන බහුකාර්ය සංවර්ධන නිලධාරීන් තිදෙනාගෙන් ලද තොරතුරුවලට අනුව එම ගිනි අවි දෙක සොයාගෙන තිබේ. මෙම ගිනි අවි අලෙවි කිරීමට මැදිහත්කරුවකු ලෙස කටයුතු කළ ව්‍යාපාරිකයකු ද එහිදී අත්අඩංගුවට ගත් අය අතර සිටින බව පොලිසිය කියයි.

මෙම ව්‍යාපාරිකයන් සතුව තිබී ගිනි අවිද සොයාගෙන ඇති අතර රිවෝල්වරයක් සහ පිස්තෝලයක් ඒ අතර ඇත. ව්‍යාපාරිකයන් තිදෙනා අවුරුදු 27, 30 සහ 31 යන වයස්වල පසුවන්නන් වන අතර ඔවුන් නාඳුගල, වෙහෙරහේන යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

මෙම ගිනි අවි දෙක ව්‍යාපාරිකයන් මිල දී ගෙන ඇත්තේ රුපියල් 220,000ක මුදලකටය.

මාතර අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවෙන් ටී-56 අවියක්, රිවෝල්වර දෙකක්, පිස්තෝලයක් සොරාගෙන ගොස් ඇති බව විමර්ශනවලින් හෙළි වී තිබිණි. ටී-56 අවිය මිනිස් ඝාතනයකට යොදාගෙන තිබියදී පොලිස් විශේෂ කාර්ය බළකාය මඟින් සොයාගෙන තිබුණු අතර අලෙවි කළ රිවෝල්වරයක් බහුකාර්ය සංවර්ධන නිලධාරීන් තිදෙනා අත්අඩංගුවට ගත් මුල් අවස්ථාවේදී සොයාගෙන තිබිණි. එම අවියත් සොයාගනු ලබන්නේ ව්‍යාපාරිකයකු සතුව තිබියදීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT