Monday, April 21, 2025
Home » ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල නිට්ටඹුවේ නිරීක්ෂණයක
මන්ත්‍රී අමරකීර්ති ඝාතන නඩුව

ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල නිට්ටඹුවේ නිරීක්ෂණයක

by mahesh
December 8, 2023 1:00 am 0 comment

වේයන්ගොඩ විශේෂ
ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල නිට්ටඹුවේ ඝාතනය වූ ස්ථානය නිරීක්ෂණය කළ අයුරු

මන්ත්‍රී අමරකීර්ති ඝාතන නඩුව විභාග කරන විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල නිට්ටඹුව නගරයේ ඝාතනය සිදු වූ බව කියන නිහාල් ෆැෂන් ආයතනය ඇතුළු අවට ප්‍රදේශය ඊයේ (07) පස්වරුවේ නිරීක්ෂණය කළහ.

ගෝඨා ගෝ ගමට හා මයිනා ගෝ ගමට මැර ප්‍රහාරයක් එල්ල වූ පසුගිය වසරේ මැයි මස 09 වැනිදා පස්වරුවේ නිට්ටඹුව නගරයේදී හටගත් මහජන නොසන්සුන්තාවයන් අතරතුරදී පොලොන්නරුව හිටපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල හා ඔහුගේ ආරක්ෂක පොලිස් සැරයන් අහංගම විතාරනලාගේ ජයන්ත ගුණවර්ධන යන දෙදෙනා ඝාතනය කොට තිබිණ.

මේ පිළිබඳ නඩු විභාගය සහන් මාපා බණ්ඩාර (සභාපති), රස්මි සිංගප්පුලි හා ඩී.ඒ. රුවන් පතිරණ යන විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ ගම්පහ මහාධිකරණයේදී පසුගිය 01 වැනිදා ආරම්භ කළ අවස්ථාවේ නීතිපතිවරයාගේ උපදෙස් පරිදි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා කරන ලද ඉල්ලීමක් සලකා බැලූ විනිසුරු මඬුල්ල ඊයේ (07) පස්වරු 2.30ට නිට්ටඹුව නගරයට පැමිණ පස්වරු 3.30 දක්වා සිද්ධිය වූ ස්ථානය ඇතුළු අවට ප්‍රදේශය නිරීක්ෂණය කරනු ලැබූහ. පළමුව විනිසුරු මඬුල්ල අමරකීර්ති මන්ත්‍රීවරයා පැමිණි ජීප් රථය නැවැත්වූ බව කියන නිට්ටඹුව ශක්ති වයින් ස්ටෝර්ස් ආයතනය අසල නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ කොළඹ දෙසට පා ගමනින් පැමිණ නඩුවට අදාළ සීසීටීවී දර්ශන ලබාගෙන ඇති සිතාරා මීමන නීතිඥ කාර්යාලය හා බුලත්විට කඩයක් ද නිරීක්ෂණය කරනු ලැබීය.

ඉන් අනතුරුව ඝාතන සිදු වූ බව කියන නිහාල් ෆැෂන් ආයතනයේ මහල් තුනම නිරීක්ෂණය කරනු ලැබීය.එවකට ගම්පහ අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ ස්ථානාධිපතිවරයා වශයෙන් සිටි වත්මන් වවුනියාව අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කොල්ලුරේ මහතාගේ මඟ පෙන්වීම යටතේ එම නිරීක්ෂණයන් සිදු කෙරිණි. මේ අවස්ථාවට රජයේ නීතිඥ ක්‍රිෂාන් අල්විස් කුලතිලක මහතා ප්‍රමුඛ රජයේ නීතිඥ මහත්ම මහත්මීන් පිරිසක් සමඟ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ සහකාර පොලිස් අධිකාරි චන්දන කලුආරච්චි, අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරි ප්‍රසාද් ප්‍රනාන්දු හා නිට්ටඹුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන කුමාර යන මහත්වරු ද විත්තියේ හා පැමිණිල්ලේ නීතිඥ මහත්ම මහත්මීහු පිරිසක් ද සහභාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT