Saturday, April 19, 2025
Home » රාජ්‍ය සේවයේ දී රාජකාරියට එහා ගිය මනුසත්කම පෙරට ගෙන වැඩ කරන්න:

රාජ්‍ය සේවයේ දී රාජකාරියට එහා ගිය මනුසත්කම පෙරට ගෙන වැඩ කරන්න:

ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව ඉදිරියේදී ක්‍රියාත්මක කරනවා - ‘අලුත් ගමක්-අලුත් රටක්’ සංව­ර්ධන වැඩ­ස­ට­හ­නේදී අග­මැති කියයි

by mahesh
December 8, 2023 1:00 am 0 comment

නුවන් කොඩිකාර සහ කැලණිය කේ. එස්. හැන්නදි

ඉදිරි මාස කිහිපයේ ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරන බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පෙරේදා (06) පැවති Òඅලුත් ගමක් – අලුත් රටක්Ó ජාතික ඒකාබද්ධතා සහභාගිත්ව සංවර්ධන වැඩසටහනට එක්වෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

අඛණ්ඩ ආර්ථික වර්ධනයකට රට යොමු කිරීමේ ප්‍රමුඛතාව ඇතිව සියලුදෙනා එකතුව කටයුතු කරමු යැයි ද අගමැතිවරයා පැවසීය.

රාජ්‍ය සේවයේ දී රාජකාරියට එහා ගිය මිනිස් ගුණාංගවලින් කටයුතු කළ යුතු බවත්, යම් කටයුත්තකදී චක්‍රලේඛනවල නොසිට වැඩ පූර්වාදර්ශයන් පෙන්විය යුතු බවත් අගමැතිවරයා ප්‍රකාශ කළේය.

සංවර්ධන කමිටු ගන්න තීරණ ක්‍රියාත්මක කිරීමට ප්‍රාදේශීය සංවර්ධන මණ්ඩලවල සභාපති විදියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පත් කර තිබෙන බවත් ඒ අනුව සංවර්ධන කටයුතු, එදිනෙදා සේවා කටයුතු, අනාගත ආයෝජන හා වැය ශීර්ෂ එලෙස මෙහෙයවීමට කටයුතු කළ යුතු බව අගමැතිවරයා පැවසීය.

එහිදී අගමැතිවරයා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

“ගංවතුරක් ආවොත් ග්‍රාම නිලධාරීන් බලාන ඉන්නවා ද? මිනිස්කමේ යුතුකමෙන් එළියට බහිනවා. අමාරු තැන්වලට කොහොම හරි යනවා. මේ වාගේ රාජ්‍ය නිලධාරීන් උනන්දුවෙන් චක්‍රලේඛ නැහැ කියා නොසිට පූර්වාදර්ශ සපයනවා. අලුතින් හිතන්න. අලුතින් වැඩ කරන්න. ඒ උත්සාහය සාර්ථක කර ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කය අරන් තිබෙන මේ ක්‍රියාදාමයන්ට අපේ සහයෝගය හා සහාය ලැබෙනවා.

මේ සංකීර්ණය විවෘත කළ අවස්ථාවේ සියලු රාජ්‍ය නිලධාරීන්ට, විශේෂයෙන් මේ ආර්ථික හා මූල්‍යමය අර්බුදයෙන් ගොඩඑන මඟට පිවිසී තිබෙන බව දැනුම් දුන්නා. ගිය අවුරුද්දේ ඉතිහාසයේ කවදාවත් මුහුණ නොදුන් ආර්ථික හා මූල්‍ය ගැටලුවකට මුහුණ දුන්නා. එය දේශපාලන වශයෙන් හොඳ නරක තිබුණත් මූල්‍ය අර්බුදයකට පිවිස තිබෙන බව රජය පිළිගත්තා. ඒ අනුව ජාත්‍යන්තර සංවිධාන සමඟ සාකච්ඡා කළා. ලංකාව අයි. එම්. එෆ්. එකට ගිය පළමු අවස්ථාව මෙය නොවෙයි. ලෝක බැංකුවට ගිය පළමු වතාවත් මෙය නොවෙයි. හැම ආණ්ඩුවක්ම ඔවුන් සමඟ කටයුතු කළා. ජාතික වශයෙන් පළාත් වශයෙන් දිස්ත්‍රික් වශයෙන් විවිධ ව්‍යාපෘති ලැබී තිබෙනවා. ඇතිවුණු අර්බුදය නිසා අද ඒ ව්‍යාපෘති නතර වෙලා. දැන් නැවතත් ඒ ව්‍යාපෘති එකින් එක ලබා ගැනීමේ පුළුවන්කම රජයට තිබෙනවා.

ග්‍රාම සේවක කොට්ඨාසයක රාජ්‍ය සේවකයන් කීපදෙනෙක් ඉන්නවා. දිසාපති භාරයේ සංවර්ධන කමිටු නායකයන් විසින් දෙන උපදෙස් අනුව, දිස්ත්‍රික්කයක් හැටියට සංවර්ධන කමිටු සැලැස්ම ඔවුන් ක්‍රියාත්මක කරන්න බැඳී සිටිනවා. ග්‍රාමීය මට්ටමේ සංවර්ධන සැලැසුමක් ඇති කරන්න අවශ්‍යයි. සෑම ග්‍රාම සේවක කොට්ඨාසයකින්ම පසුගිය වසරට වඩා නිෂ්පාදනය වැඩි කරයි කියා අපි බලාපොරොත්තු වෙනවා. ආහාර නිෂ්පාදනය හෝ වෙනත් කාර්මික භෝග හෝ අමුද්‍රව්‍ය හෝ එකළස් කරන කර්මාන්ත වෙන්න පුළුවන්. අලුත් ආයෝජන වෙන්න පුළුවන්. මේ 2024 අවුරුද්ද අනිවාර්යෙන්ම ආර්ථික වර්ධනයක් සිදු වෙන අවුරුද්දක් බව අපට විශ්වසයි.

අස්වැසුම ප්‍රතිලාභ ඉල්ලා ඉදිරිපත් කරන අභියාචනා තිබේ නම් ඒවා භාර ගන්නා ලෙස අගමැතිවරයා ප්‍රාදේශීය ලේකම්වරුන්ට එහිදී උපදෙස් දුන්නේය. එවිට නිලධාරීන් පැවසුවේ අස්වැසුම සමීක්ෂණයෙන් ග්‍රාම නිලධාරීන් සහ සමෘද්ධි සම්බන්ධීකරණ නිලධාරීන් ඉවත්වීමෙන් පසු ප්‍රදේශයේ රැකියා විරහිත තරුණ පිරිසක් දිනකට රුපියල් 300ක වැටුපක් ගෙවා ඔවුන් මඟින් මේ අස්වැසුම ප්‍රතිලාභීන් තෝරා ගත් බවය. එහිදී නියම සුදුස්සන් මඟ හැරී ඇති බව දක්නට ලැබෙන බව ද එම නිලධාරීහු පෙන්වා දුන්හ.

ඇමැතිවරුන් වන ප්‍රසන්න රණතුංග, නලින් ප්‍රනාන්දු, බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක, රාජ්‍ය ඇමැතිවරුන් වන ජානක වක්කුඹුර, අශෝක ප්‍රියන්ත, ඉන්දික අනුරුද්ධ, සිසිර ජයකොඩි, ප්‍රසන්න රණවීර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සහන් ප්‍රදීප් විතාන, යදාමිණි ගුණවර්ධන, කෝකිලා ගුණවර්ධන, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, මිලාන් ජයතිලක, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් රංජිත් අශෝක, බස්නාහිර පළාත් ලේකම් ප්‍රදීප් යසරත්න, ගම්පහ දිස්ත්‍රික් ලේකම් සමන් දර්ශන පාඩිකෝරාල යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT