යුද්ධය කොතරම් අවශ්‍ය වුවත් කෙතරම් යුක්තිසහගත වුවත් එය අපරාධයක් නොවන බව කිසිවිෙටක නොසිතන්න යැයි අර්නස්ට් හෙමිංවේ කිවුවේ නිකමට නොවේය. යුද්ධය අද වන විට ශාපයක් වන තරමටම බොහෝ රටවලට, බොහෝ ජාතීන්ට හිසරදයක්ව හමාරය. මේ මොහොත වන විට යුද්ධයේ මාරක සිතියම එළා ඇත්තේ ගාසා තීරය හරහාය. ඒ මතින් ඇදෙන උණ්ඩයක් පාසා පුපුරා යන බෝම්බයක් පාසා ජීවිත කිහිපයක ඉරණම විසඳෙනවා නිසැකය. කවරෙකු කවරාකාරයෙන් මුල් වී යුද්ධය ආරම්භ කළ ද සිදු වන්නේ විනාශයක්ය යන්න තේරුම් ගැනීමට තරම් සියුම් හෝ හැකියාවක් තිබුණ ද තේරුම් නොගන්නා එකම කරුණ වන්නේ අවසානයේ ජය ලබන්නේ උණ්ඩයම මිසක් අන් කිසිවක් නොවන බවය. මේ මොහොතේ හමාස් සංවිධානය හා ඊශ්‍රායලය අතර, පවතින යුද්ධයෙන් මිනිස් ජීවිත අහිමිව ගොස් ඇත්තේ සියයේ, දෙසීයේ ඉලක්කම්වලින් නොව දහස් ගණන්වල අගයන් ද එකතු කරමිනි. ගාසා තීරය තුළ හමාස් ත්‍රස්තවාදීන්ට පමණක් නොව ඊශ්‍රායල හමුදාවන්ගේ ප්‍රහාරයෙන් පලස්තීන ජනතාවට ද සිදු වූයේ මාරයාගේ භූමියේදීම ගොඩනැඟිලි සුන්බුන් අතරට සිරවී මියයාමටය. කවරක් වුවද මේ සියල්ල මිනිස් ජීවිතය. මීට එහා කතා කළ විට අපට දැනෙන ළඟම කාරණාව වන්නේ මාධ්‍යවේදීන්ගේ ජීවිත ද අහිමිව යාමයි. මේ වන විට විදෙස් පුවත් සේවාවන් සඳහන් කරනා ආකාරයට පසුගිය ඔක්තෝබර් 7 වනදා සිට මේ දක්වා මාධ්‍යවේදීන් 70 දෙනෙකු පමණ තම ජීවිතයට සමු දී තිබේ.
මාධ්‍යවේදීන් ජීවිතක්ෂයට පත් වීම
හමාස් සංවිධානය හා ඊශ්‍රායල හමුදාව අතර පවතින ගැටුම් හේතුවෙන් මාධ්‍යවේදීන්ගේ මියයාම පිළිබඳව කතා කරන්නේ නම් ඔක්තෝබර් 7 වනදා දක්වා ආපසු පියමං කළ යුතුය. මෙහිදී පළමු බිල්ල වූයේ ඊශ්‍රායල ජාතික 22 හැවිරිදි අයලෙන් ආර්නින්ය. ඇය ඝාතනයට ලක් වූයේ ඔක්තෝබර් 7 වනදා හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට පහරදුන් අවස්ථාවේය. මේ මොහොත වන විට අයලෙන් ‘සුපර් නෝවා’ සංගීත ප්‍රසංගයට සහභාගිව සිටියාය. ඇය මියයන විට තම සේවය ලබා දෙමින් සිටියේ ඊශ්‍රායල රජයේ විකාශන ආයතනයක් වන Kan වෙත ප්‍රවෘත්ති කර්තෘවරියක වශයෙනි. ඇය සමඟ මෙදිනම තවත් මාධ්‍යවේදීන් තිදෙනෙකු ඝාතනය වූයේ මෙම ගැටුමේ මාධ්‍යෙව්දී ජීවිත අහිමිව යාමේ ආරම්භය සනිටුහන් කරමිනි. අනෙක් මාධ්‍යවේදීන් දෙදෙනාගෙන් කෙනෙකු වූයේ හීබෲ පුවත්පතක් වන මාරිව්හි විශේෂාංග අංශයේ සේවය කරනු ලැබූ ෂායි රෙගෙව්ය. 25 හැවිරිදි පුවත්පතේ සංස්කාරවරියක වූ ඇය ද හමාස් ත්‍රස්තවාදීන් අතින් ඝාතනයට ලක් වූයේ ‘සුපර් නෝවා’ සංගීත උලෙළේදීය. මෙම සිවු දෙනාගෙන් අනෙක් චරිතය වූයේ ඊශ්‍රායල වයිනෙට් පුවත්පතේ ඡායාරූප ශිල්පියකු වූ රොඊ ඉදාන්ය. 45 හැවිරිදි ඔහු මියගියේ තම බිරිය සහ දියණිය ද සමඟිනි. යනීව් සොහාර් 54 හැවිරිදිය. ‘ඊශ්‍රායල් හයොම්’ පුවත්පතේ ඡායාරූප ශිල්පියකු වන ඔහු කිබුට්ස් වෙත එල්ල වූ හමාස් ප්‍රහාරයේදී බිරිය සහ දරුවන් දෙදෙනා සමඟ ජීවිතක්ෂයට පත් විය.
හමාස් – ඊශ්‍රායල යුද්ධයේ මාධ්‍යවේදීන්ගේ මුල්ම ඝාතන හතර සිදු වූයේ එලෙසිනි. ඊශ්‍රායල මාධ්‍යවේදීන් ඝාතනය ඒ ආකාරයෙන් සිදු වන විට ලෙබනනයේ සහ පලස්තීනයේ මාධ්‍යවේදීන්ගේ ජීවිත ද අනතුරට වැටී තිබිණි. මේ අතරම හමාස් සංවිධානයට අනුබද්ධ අල් – අක්සා ගුවන්විදුලියේ මාධ්‍යවේදිනියක වන දුවා ෂරාස් මියගියේ පසුගිය ඔක්තෝබර් 26 වනදා ඊශ්‍රායල හමුදාව විසින් එල්ල කරනු ලැබූ ගුවන් ප්‍රහාරයකිනි. 31 හැවිරිදි සල්මා මුහයිමර් වෙබ් මාධ්‍යවේදියකු වූ මුහම්මද් ඉමාද් රුෂ්දිසිරනර්, මොහොමඩ් අලී ඛලීල් අබුතේරා, සමීහ් අල් – නාදි, මුහම්මද් බාලුෂ වැන්නවුන් ද ඔක්තෝබර් මස අවසන් වන විට ජීවිතක්ෂයට පත්ව සිටි බව සඳහන් කරන්නේ BBC පුවත් සේවය මඟිනි. තවද මේ තොරතුරු ගොන්නේම ඔවුන් විසින් සඳහන් කර ඇත්තේ රොයිටර් ප්‍රවෘත්ති සේවයේ මාධ්‍යවේදියකු ලෙබනනයේදී ඊශ්‍රායලයෙන් එල්ල කළ මිසයිල ප්‍රහාරයෙන් මියගිය බවය. ඔහු ඉසාම් අබ්දුල්ලාය.
මාධ්‍යවේදීන් සුරැකීමේ කමිටුව (CPJ)
ජනමාධ්‍යවේදීන් සුරැකීමේ කමිටුව විසින් මේ වන විට මාධ්‍යවේදීන්ගේ ජීවිත අනතුරට පත් වීම සම්බන්ධයෙන් දත්තයන් එක්රැස් කරමින් සිටිනා මොහොතක හෙළි කරන ලද කාරණාවක් ද විය. එනම් එම අවස්ථාව වන විට මියගිය මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතනයන්හි සේවය කරන්නන්ගෙන් 61 දෙනෙකුගෙන් 54 දෙනෙකු පලස්තීනුවන් වන බවයි. ඒ අනුව ඔවුන් ප්‍රකාශ කර සිටියේ 1992 සිට ඊශ්‍රායල – ගාසා යුද්ධයේ දත්තයන් එක්රැස් කිරීම ආරම්භ කළදා සිට මෙම මාසය මාධ්‍යවේදීන් මාරාන්තික වූ මාසයක් කරා රැගෙන ගොස් ඇතැයි කියාය. මේ අතර Society of Professional Journalist (SPJ) තවත් කරුණු එක්රැස් කර ගනිමින් ප්‍රකාශ කරනුයේ මාධ්‍යවේදීන්ට ඔවුන්ගේ වැඩකටයුතු පවා ඉටු කර ගත නොහැකි අයුරින් පුළුල් ආකාරයෙන් විදුලිය ඇනහිටීම්, සන්නිවේදන ජාලයන් බිඳ වැටීම වූ ආකාරයයි. මේ අතර SPJ සභාපතිවරයා ප්‍රකාශ කරනුයේ මහජනතාවට තොරතුරු ලබා දීමේ කටයුත්ත අත්අඩංගුවට ගැනීම්, තර්ජන, ප්‍රහාරයන්ට ලක් වීම හා වාරණයන් හමුවේ කළ නොහැකිව ඇති බවයි. ඔවුන් පවසන්නේ අත්අඩංගුවට ගෙන සිටිනා සියලුම මාධ්‍යවේදීන් චෝදනාවලින් තොරවම නිදහස් කළ යුතු බවත්, ඔවුන්ගෙන් ලබා ගත් උපකරණ ආපසු ලබා දිය යුතුයි යන්නත්ය. මාධ්‍යවේදීන් කෙරෙහි එල්ල වන ප්‍රචණ්ඩත්වයට එරෙහි වන මාධ්‍යවේදීන් සුරැකීමේ කමිටුව තවදුරටත් ප්‍රකාශ කරනුයේ තම ප්‍රජාවේ, ප්‍රාන්තයේ මෙන්ම ලෝකය තුළ සිදු වන වැදගත් ප්‍රවෘත්තීන් පිළිබඳව මහජනතාව දැනුම්වත් කිරීමේදී ඔවුන් කිසිදු විටක තර්ජනයන්ට සහ සයිබර් ප්‍රහාරයන්හි ඉලක්කයන් නොවිය යුතුය යන්නයි.
කොයි හැටි වෙතත් ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර, පවතින යුද ගැටුමේදී මියගිය මාධ්‍යවේදීන් සංඛ්‍යාව හා මෙතෙක් පසුගිය විසිවසර තුළ ගැටුම්වලින් මියගිය ප්‍රමාණය අහසට පොළොව මෙනැයි සිතෙන්නටත් පුළුවන් වන්නේ පහත සංඛ්‍යා ලේඛන දෙස බැලූ විටය.
වසර 20ට 1668ක් ඝාතනය වේ
2003 වසරේ සිට 2022 වසර අවසානය දක්වා මාධ්‍යවේදීන් 1668ක් ඝාතනය වී ඇති බව දක්වා සිටින්නේ Reporters without Borders (RSF) විසිනි. ඔවුන් විසින් සිදු කරන ලද විශ්ලේෂණයන් මඟින් සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කර තිබිණි. මෙම ඝාතන සංඛ්‍යාවන් සමඟ එහි වසරක සාමාන්‍ය වන්නේ 80කි. එනම් එයින් කියැවෙන්නේ අවම වශයෙන් වසරකට 80 දෙනෙකු ඝාතනය වන බවයි. එහෙත් එහි වැඩි අගයක් පෙන්නුම් කරනු ලැබුවේ සිරියානු යුද සමයේදීය. 2012 වසරේදී 144ක් සහ 142ක් ඝාතනය වීමට ලක්ව තිබිණි. සියලු රටවල් ඔවුන් හුවාදක්වන මාපකයන් තුළ නොමැති මුත් වුවත් මාධ්‍යවේදීන් ඝාතනයන් සම්බන්ධ භයානකම රටවල් 15ක් ඔවුන් විසින් ඉදිරිපත් කර තිබිණි. ඉන් මුලින්ම ඇත්තේ ඉරාකයයි. එම සටහනෙහි දක්වා ඇති අයුරින් 2003 වසරේ සිට ඉරාකයේ – 299, සිරියා – 279, මෙක්සිකෝ – 125, පිලිපීනය – 107, පකිස්තානය – 93, ඇෆ්ගනිස්තානය – 81, සෝමාලියා – 78, ඉන්දියාව – 58, බ්‍රසීලය – 42, යේමනය – 40, කොසෙම්බියා – 31, පලස්තීනය – 29, හොන්ඩුරාස් – 26, රුසියාව – 25 හා බංග්ලාදේශය – 24ක් වශයෙනි.
මියගිය වැඩිම පිරිස පලස්තීනයෙන්
RSF විසින් ලබා දී ඇති දත්තයන් අදාළ වන්නේ පසුගිය වසර අවසානයට පමණි. මන්ද මේ වන විට පලස්තීනයේම මාධ්‍යවේදීන් 60කට ආසන්න සංඛ්‍යාවක් මියගොස් තිබේ. ඒ අනුව 2023 වසර අවසානය වැඩිම මාධ්‍යවේදීන් පිරිසක් මියගිය වසර වුව ද විය හැකිය. ඊශ්‍රායල් ගැටුම් සමඟින් මියගිය මාධ්‍යවේදීන් සියලු දෙනාම මියගොස් තිබුණේ යුද වාර්තාකරණයට නොගිය මොහොතක බව ද මේ වන විට පුවත් පළවේ. එහෙත් RSFසඳහන් කර ඇති ආකාරයට ගැටුම් පැවති ප්‍රදේශවලදී ද මාධ්‍යවේදීන් විශාල ලෙසින් අවදානමට ලක් විය. ඒ අනුව 2014 සිට සිදු වූ ඝාතනයන් 686න් 335ක් සිරියාව, ඇෆ්ගනිස්ථානය හා යේමනය තුළ සිදු වූ ඝාතනයන්ය. ඔවුන් මාරාන්තික වසර 5 ලෙස 2012 – 2016 නම් කරන්නට විය. එයට හේතු වූයේ 2012 – 94, 2013 – 92, 2014 – 64, 2015 – 52 සහ 2016දී 53ක් ඝාතනයන්ට ලක් වූ බැවිනි.
මේ අතරම මේ දත්ත විශ්ලේෂයන් සමඟ ඔවුන් හුවාදක්වා ඇත්තේ වෙනමම වූ කාරණාවකි. එනම් යුද්ධය පවතින කලාපයන්ට වඩා සාමකාමී යැයි කියාගන්නා කලාපයන්හි මාධ්‍යවේදීන්ට අනතුරු වැඩි බවකි. පසුගිය දශක දෙක තුළ යුද්ධය පැවති මෙන්ම සාමකාමී කලාපයන්හි තොරතුරු එක්රැස් කර ගැනීමට ඔවුහු කටයුතු කළහ. ඒ අනුව පසුගිය විසි වසර තුළම ඔවුන් විසින් ලබා ගත් සංඛ්‍යා දත්තයන්ට අනුව 2011 වසරේ යුද කලාපයේ 30 නොවන 48, 2012 වසර 94/50, 2013 වසර 92/50, 2014 වසර 64/46, 2015 වසර 52/62, 2016 වසර 53/29, 2017 වසර 43/32, 2018 වසර 48/40, 2019 වසර 21/33, 2020 වසර 16/39, 2021 වසර 19/32, 2022 වසර 20/38 ලෙසිනි.
ඔවුන් සඳහන් කර ඇති පරිදි පසුගිය වසර 4 තුළදී පෙනී යන ආකාරයට වැඩි වශයෙන් මාධ්‍යවේදීන් ඝාතනය වී ඇත්තේ සාමකාමී යැයි කියනා යුද කලාපයෙන් පිටතය. 2022 වසර අවසාන වන විට විසි වසරක් තුළ කාන්තා මාධ්‍යවේදිනියන් 81 දෙනෙකු ඝාතනයන්ට ලක් වී තිබිණි. එය සමස්ත මාධ්‍යවේදී ඝාතනයන්ගෙන් 4.86% ප්‍රතිශතයකි. කොයි හැටි වෙතත් ඔවුන් සඳහන් කරන ආකාරයට අමෙරිකන් මහද්වීපය මාධ්‍යවේදීන්ට ලෝකයේ භයානකම මහද්වීපය ලෙසින් නම් කර ඇති අතර, හොන්ඩුරාස්, බ්‍රසීලය, කොළොම්බියාව සහ මෙක්සිකෝව ලෝකයේ භයානකම රටවල් 15 අතරට එක්වේ.
ගාසා තීරයේ මාධ්‍යවේදී ඝාතනය
මේ වන විට ගාසා තීරය තුළ සිදු වන මාධ්‍යවේදීන් ඝාතනයන්ගේ එකතුව වසර අවසානය වන විට කවර අගයක් ගනී ද යන්න කිසිවකුටත් කිව නොහැකිය. එහෙත් බී.බී.සී. පුවත් සේවය ඊශ්‍රායල ප්‍රහාරයන් මඟින් සිදුවන මාධ්‍යවේදීන්ගේ ඝාතනයන් මෙන්ම සාමාන්‍ය ජනතාවගේ ජීවිත අහිමිවීම පිළිබඳව ප්‍රශ්න කළ විට ඊශ්‍රායල හමුදා ප්‍රකාශක පවසා සිටියේ ‘ඕනෑම ආකාරයක ජීවිත හානි සිදුවීම ඛේදවාචකයක්’ යනුවෙනි.
හතර වෙනි ආණ්ඩුව
මාධ්‍යවේදීන් යනු වැදගත් කාර්යභාරයක් ඉටු කරන සිවිල් වැසියන් පිරිසක් වන අතර, යුද වදින පාර්ශ්වයන් ඔවුන් ඉලක්ක නොකර ගත යුතුය යන්න රාජ්‍ය නොවන සංවිධානයක් වන ‘මාධ්‍යවේදීන් සුරැකීමේ කමිටුව Committee to protect’ සඳහන් කරන අතර, මේ වන විට ඔවුන් අතුරුදන් වූ මෙන්ම තුවාල ලැබූ මාධ්‍යවේදීන් පිළිබඳව ද සොයා බලමින් සිටී.
කෙසේ වුවද අයර්ලන්ත ලේඛක ඔස්කා වයිල්ඩ් ප්‍රකාශ කර සිටියේ අමෙරිකානු ජනාධිපතිවරයා වසර හතරක් රට පාලනය කළ ද පුවත්පත් කලාව සදාකාලිකවම රට පාලනය කරනා බවය. එසේම මාධ්‍ය යනු හතර වන ආණ්ඩුව ලෙසින් ද ඔහු සඳහන් කර සිටියේ ප්‍රජාතන්ත්‍රවාදය රඳා පවතින්නේ ස්වාධීන මාධ්‍යයක් මතය යන්න දක්වන නිසාවෙනි. එහෙත් කාලයක් තිස්සේ ලෝකය පුරාම හතර වන ආණ්ඩුවට සිදුව ඇත්තේ නොයෙක් අන්දමේ අතුරු ආන්ත්‍රාවලට මුහුණ දීමටය. එමනිසා මේ සියලු දෑවලින් මිදුණු කල සාමය, සහජීවනය මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය ලෝකය පුරා ගොඩනැඟෙනු ඇත.