ඓතිහාසික මාතර කොටුව ඇතුළත ඇති මැතිවරණ කාර්යාලය පිටුපස විදුලි කණුවක් සවි කිරීම සඳහා විදුලිබල මණ්ඩලය මඟින් වළක් හෑරීමේදී පැරණි ඇටකටු සමූහයක් සහිත ඉතා පැරණි වළං කටු කැබිලි කිහිපයක් හමු වී ඇත.
මෙම ඇටකටුවලින් ඉතාමත් පැරණි ස්වරූපයක් පෙනෙන බව වළ හෑරීමේ නිරතව සිටි පිරිස පවසන අතර මේ පිළිබඳ ඔවුහු මාතර පොලිසිය වෙත පැමිණිලි කර තිබේ.
මේ ස්ථානය පැරණි සුසාන භූමියක්ව තිබී ඇති බවත් එක්දහස් හයසිය ගණන්වල සිට එම සුසාන භූමිය භාවිත කර ඇති බවත් මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකට පිළිතුරු දෙමින් ගාලු පදනම ව්‍යාපෘති නිලධාරී ස්වාධීන ගවේෂක තරංග නානායක්කාර මහතා පැවසුවේය.
කෙසේ වුවද මේ පිළිබඳ විධිමත් පුරාවිද්‍යා ගවේෂණයක් සිදු කළ යුතු බව ද හෙතෙම කීවේය.
මේ සම්බන්ධයෙන් අප ගාල්ල මාතර සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂිකා වසන්ති අලහකෝන් මහත්මියගෙන් කළ විමසීමකදී ඇය පවසා සිටියේ මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ඊයේ (06) සවසම ගාල්ල කාර්යාලයෙන් නිලධාරි මහතකු එහි යැවූ බවය.
මෙම ස්ථානය අසල මෙයට පෙරද යම් ගවේෂණයක් කළ බවත් මෙම භුමි භාගය ලන්දේසී කාලයට අයත් බවත් එම යුගයට අයත් යම් යම් ගොඩනැඟිලි හමු වූ බවත් ඇය කීවාය.
ගාල්ල දිසා සමූහ
නන්දසිරි වැලිගමගේ