ඉන්දියාවේ පැවැත්වෙන ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් තරගාවලියේ 12 වැනි තරගයේදී තිලකරත්න ඩිල්ෂාන් භිල්වාරා කිංග්ස් පිල වෙනුවෙන් වාර්තා කළ අර්ධ ශතකය යට කරමින් රිකී ක්ලාක් වාර්තා කළ ලකුණු 73 හේතුවෙන් යුබර්න්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායමට කඩුලු 7ක ජයක් අත්විය.
ඊයේ සිය තෙවැනි ජය වාර්තා කළ යුබර්න්රයිසරස් පිල කණ්ඩායම් 6ක් එක්ව සිටින තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ද සමත් විය. තරග 5ක් ක්‍රීඩා කළ භිල්වාරා පිලට ඊයේ අත්වූයේ තෙවැනි පරාජයයි.
ජම්මුහිදී පැවති ඊයේ පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් භිල්වාරා කිංග්ස් පිල කඩුලු 6ක් දැවී ලකුණු 144ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ යුබර්න්රයිසර්ස් ක්‍රීඩකයෝ ඕවර 17.3කදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 3ක් පමණක් අහිමි කර ගනිමිනි.
ආරම්භක පිතිකරුවන් යුගලය මුළු ලකුණු 44දී දැවී යෑමෙන් පසු පිටියට පිවිසි රිකී ක්ලාක් නොදැවී ලකුණු 73ක් රැස් කරමින් කණ්ඩායමේ ජය තහවුරු කළේ පන්දු 44ක් පමණක් වැය කරමිනි. ඔහුගේ ඉනිම හතරේ පහර 2කින් සහ හයේ පහර 7කින් වර්ණවත් විය. පන්දු යැවීමේදී ක්‍රිස් බාර්න්වෙල් කඩුලු 2ක් දවා ගත්තේය.
පළමුව පන්දුවට පහර දුන් භිල්වාරා ඉනිමේ අංක 3 පිතිකරු ලෙස පිටියට පිවිසි තිලකරත්න ඩිල්ෂාන් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් පන්දු 37කින් ලකුණු 53ක් රැස් කළේ හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟිනි. යුසුප් පතාන් ලකුණු 34ක් ඉනිමට එක් කළ අතර, පන්දු යැවීමේදී පවන් සුයාල් කඩුලු 2ක් දවා ගත්තේය.
මේ තරගාවලිය යටතේ අද (2) ඉසුරු උදාන සහ දිල්හාර ප්‍රනාන්දු ක්‍රීඩා කරන ඉන්දියා කැපිටල්ස් පිල සහ තිසර පෙරේරා නියෝජනය කරන මනිපාල් ටයිගර්ස් අතර තරගය පැවැත්වේ. සීක්කුගේ ප්‍රසන්න ක්‍රීඩා කරන ගුජරාට් ජයන්ට්ස් සහ උපුල් තරංග සමඟ ශ්‍රී ලාංකිකයන් 6 දෙනෙක් ක්‍රීඩා කරන සදර්න් සුපර් ස්ටාර්ස් අතර තරගය හෙට (3) පැවැත්වීමට නියමිතය.
භිල්වාරා කිංග්ස් – 144/6 (ඕවර 20) තිලකරත්න ඩිල්ෂාන් 53, යුසුප් පතාන් 34 (පවන් සුයාල් 27/2)
යුබර්න්රයිසර්ස් හයිද්‍රාබාද් – 148/3 (ඕවර 17.3) රිකී ක්ලාක් නොදැවී 73 (ක්‍රිස් බාර්න්වෙල් 46/2)