Tuesday, April 22, 2025
Home » ලක්ෂ 14කුත් අරන් කාරෙක බාගෙට රෙපයාර් කළැයි ගරාජ්කරු උස්සලා

ලක්ෂ 14කුත් අරන් කාරෙක බාගෙට රෙපයාර් කළැයි ගරාජ්කරු උස්සලා

ත්‍රිරෝදයක දාගෙන අරන් යද්දී පොලිසිය බේරාගනී

by gayan
December 2, 2023 1:00 am 0 comment

රුපියල් ලක්ෂ 14ක මුදලක්ද ලබාගෙන අලුත්වැඩියාවට දුන් මෝටර රථයක් නිසි ලෙස අලුත්වැඩියා නොකිරීම හේතුවෙන් උරණ වූ ව්‍යාපාරිකයකු තම හිතවතුන් දෙදෙනකු සමඟ එක් වී පොල්ගස්ඕවිට ප්‍රදේශයේ ගරාජයක හිමිකරුවකුට පහර දී ත්‍රිරෝද රථයක දමාගෙන පැහැරගෙන යමින් සිටියදී මුදාගැනීමට මත්තේගොඩ පොලිසිය සමත්ව ඇත.

ගරාජයේ හිමිකරු පැහැරගෙන යෑම සම්බන්ධයෙන් ව්‍යාපාරිකයාත් ඔහුගේ සගයන් දෙදෙනාත් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් තිදෙනාගෙන් දෙදෙනකු මොරටුවේ පදිංචි දැව ව්‍යාපාරිකයෙන් බවත්, තෙවැන්නා ත්‍රිරෝද රියේ රියැදුරු බවත් පොලිසිය කියයි.

පැහැරගැනීමට ලක් වූ ගරාජයේ හිමිකරු මත්තේගොඩ පොල්ගස්ඕවිට පාරේ සිය වාහන අලුත්වැඩියා කිරීමේ ස්ථානය විවෘත කර ඇත්තේ පසුගිය 28 දාය. එම ස්ථානයට පෙරේදා (30) සවස ත්‍රිරෝද රථයකින් පැමිණි තිදෙනෙකු එහි හිමිකරු සමඟ බහින්බස් වී පසුව ඔහුට පහර දී ත්‍රිරෝද රියක දමා ගෙන පලාගියේයැයි පැහැරගැනීමට ලක් වූ පුද්ගලයාගේ පුතා මත්තෙගොඩ පොලිසියට කළ පැමිණිල්ලකට අනුව එහි ස්ථානාධිපති (පො.ප) ඉන්දික කුමාර මහතා ක්ෂණිකව ක්‍රියාත්මක වී, මාර්ග බාධකයක් යොදා මෙහෙයුමක් ආරම්භ කර ඇත. එහිදී පොලිස් ස්ථානාධිපතිවරයාට තොරතුරක් ලැබී ඇත්තේ සැක කටයුතු ත්‍රිරෝද රිය ගල්කිස්ස කොට්ටාව මාර්ගයේ ධාවනය වන බවටය. අනුව එම ත්‍රිරෝද රිය පසුපස හඹා ගිය පොලිසිය කොට්ටාව නගර මධ්‍යයේදී එය නතර කර සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත්තේ ඔවුන් අතර සිටින ව්‍යාපාරිකයකුට අයත් මොටර් රථයක් 2021 වසරේදී අලුත්වැඩියා කිරීමට මේ පුද්ගලයා තලවතුගොඩ කලල්ගොඩ පවත්වාගෙන ගිය ගරාජයකට භාර දී ඇති බවයි. ඒ වෙනුවෙන් රු. 14ක මුදලක්ද ගෙවා ඇතත් වාහනයේ අලුත්වැඩියාව අංග සම්පූර්ණ නොවීම නිසා කලක සිට පැවති ආරවුලක් හේතුවෙන් මේ පැහැරගැනීම සිදුව ඇති බවට කරුණු අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් දැව ව්‍යාපාරිකයන් දෙදෙනා හා අළුබෝමුල්ල පදිංචි රියැදුරු කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. මත්තෙගොඩ පොලිසියේ ස්ථානාධිපති (පො.ප) ඉන්දික කුමාර මහතාගේ උපදෙස් මත, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති (උ.පො.ප) චානක මහතාගේ මෙහෙයවීමෙන් පො.කො. (15486) තිළිණ, (19120) සංඛ ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන පවත්වති.

කොට්ටාව – ප්‍රදීප් කුමාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT