Home » විශේෂ අවශ්‍යතා ඇති අයට පවතින නීති මදි: නව පනතක් ගේනවා

විශේෂ අවශ්‍යතා ඇති අයට පවතින නීති මදි: නව පනතක් ගේනවා

අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ

by gayan
December 2, 2023 1:00 am 0 comment

බුද්ධිකා ඉඹුලාන

‘අධ්‍යාපනයෙන් උගතුන් නොව බුද්ධිමතුන් බිහි කළ යුතුයි’

විශේෂ අවශ්‍යතා සහිත තැනැත්තන් පිළිබඳව අපේ රටේ පවතින නීති ප්‍රමාණවත් නැති බැවින් ඒ සඳහා නව පනතක් සකස් කරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

මේ වන විට එම නව පනත් කෙටුම්පත නීති කෙටුම්පත් සම්පාදක වෙත යොමු කර තිබෙන අතර නීතිපති නිර්දේශ ලැබීමෙන් පසු අමාත්‍ය මණ්ඩලය වෙත එය ඉදිරිපත් කරන බව ද ඇමැතිවරයා කීය.ඇමැති මණ්ඩල අනුමැතිය හිමිවීමෙන් පසු එය ගැසට් කර පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට කටයුතු කරන බවද ඇමැතිවරයා අවධාරණය කළේය.

මේ මස 03වැනි දිනට යෙදී ඇති,ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාත්‍යන්තර දිනය සැමරීමේ ජාතික වැඩසටහන ඊයේ (01) බත්තරමුල්ල සුහුරුපායේදී පැවැත්වූණු අවස්ථාවේදී එහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් අධිකරණ ඇමැති, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මේ බැව් පැවසීය. ආබාධ සහිත තැනැත්තන් පිළිබඳව වු මහලේකම් කාර්යාලය මේ උත්සවය සංවිධාන කර තිබුණි.

එහිදී අධිකරණ ඇමැතිවරයා මෙසේද පැවසීය.

‘විශේෂ අයිතිවාසිකම් ලබා දිය යුතු පුද්ගලයන් කවුරුන්ද යන්න ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කර තිබෙනවා. ඒ අනුව දරුවන් හා කාන්තාවන් විශේෂ අවශ්‍යතා ඇති අය ලෙස එහි සඳහන්. කාන්තාවන්, දරුවන් මෙන්ම විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන්ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් විශේෂ කොට සැලකිය යුතුයි. දරුවන්ට සහ කාන්තාවන්ට සලකන ආකාරය අනුව රටක හැදියාව තක්සේරු කර ගත හැකි බව බර්නාඩ් ෂෝ සඳහන් කර තිබෙනවා. විශේෂ අවශ්‍යතා ඇති අයට සැලකීමත් එයට එක් කළ යුතුයි. විශේෂ අවශ්‍යතා ඇති අය හා දරුවන් පිළිබඳව අපේ රටේ පවතින නීති ප්‍රමාණවත් නැහැ. ඒ සඳහා නව පනතක් සකස් කරනවා. එවැනි පනතක් පිළිබඳව වසර 15ක පමණ සිට සාකච්ඡා වුණා. මේ වන විට නව පනත් කෙටුම්පත, නීති කෙටුම්පත් සම්පාදක වෙත යොමු කර තිබෙනවා. නීතිපති නිර්දේශ ලබා ගෙන අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් පසුව ගැසට් කර පාර්ලිමේන්තුවේ සම්මත කර ගන්නවා. නීතීය මගින් පමණක් ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කළ හැකියැයි විශ්වාස කරනවා නම් එය වැරදියි. අපේ රටේ ජනතාවගේ ආකල්පමය වෙනසක් සිදු විය යුතුයි. ආබාධ සහිත තැනැත්තන් පිළිබඳව පවතින ආකල්පය වෙනස් විය යුතුමයි. පළමුව අපේ රටේ පවතින අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතුයි. අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතු ආකාරය ගැන අපි පාර්ලිමේන්තුවට යෝජනා කර තිබෙනවා. රටේ සමස්ත අධ්‍යාපන ක්‍රමය වෙනස් කර ආකල්පමය වශයෙන් වෙනසක් ඇති කළ යුතුයි.දැනට පවතින අධ්‍යාපන ක්‍රමය ගැති, පාඩම් කර දක්ෂතා පෙන්විය හැකි ක්‍රමයක් බව අපි හැමෝටම පැහැදිලියි. මේ අධ්‍යාපන ක්‍රමයේ වෙනස විශ්ව විද්‍යාලයෙන් කරන්න බැහැ.එය මුල් ළමා විය සංවර්ධනයෙන් කළ යුතුයි. අධ්‍යාපනයෙන් උගතුන් නොව බුද්ධිමතුන් බිහි කළ යුතුයි.දරුවන්ට අපි දිය යුතු වන්නේ බුද්ධියයි.

පසුගිය වසර වන විට අපේ රටේ ආර්ථිකය බිංදුවටම කඩා වැටුණා. සියලු අංශයන්ගෙන්ම බෙලහීන රටක් බවට පත් වුණා. එයින් අපි අධෛර්යමත් විය යුතු නැහැ. ලොව දියුණුම රටවල් වැටුණට පස්සේ තමයි සංවර්ධනය වෙලා තිබෙන්නේ. ඒ නිසා අපි වැටුණු වෙලාව වෙස්වළාගත් ආශිර්වාදයක් කර ගත යුතුයි. අපේ රටේ ආර්ථිකය කඩා වැටුණා.රට වැටුණා. භාර ගන්න කෙනෙක් හිටියේ නැහැ. එහෙම රට අපි භාර ගත්තා. ක්‍රමවේදයේ වෙනසක් කරනවා කියා අපි කිය කියා ගියේ නැහැ. අපි ක්‍රමවේදයේ වෙනසක් කළා. අපෙන් මිනිස්සු ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලුවා. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීමයි. පාලකයා සහ පාලිතයා මේ දෙපාර්ශ්වයම නීතියට යටත් විය යුතුයි. ආණ්ඩුව විපක්ෂය විරුද්ධ වෙද්දි අපි 21 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළා. සාමාන්‍ය ජනතාවයි නීති හදන අයයි ඔක්කොම නීතියට යටත් විය යුතුයි. රාජ්‍ය සේවය රාජ්‍ය යාන්ත්‍රණය දේශපාලන ග්‍රහණයෙන් මුදා ගත හැකි නීති යාන්ත්‍රණය අපි සකස් කර තිබෙනවා. ස්වාධින කොමිෂන් සභා 10ක් පිහිටුවනු ලැබුවා. මැතිවරණ ක්‍රමය වංචාවෙන් හා දුෂණයෙන් මුදා ගත්තා. අධිකරණයට ප්‍රවේශවීමටත් අපි නීති සකස් කරනවා. යුක්තියට ප්‍රවේශවීමට ඇති මාර්ග අද අවහිර කර තිබෙනවා. පසුගිය මාස 15 තුළ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම සඳහා පනත් 35ක් පමණ සම්මත කළා. ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන කාර්යාලය විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සඳහා වන කාර්යාලය ලෙස වෙනස් කරන ලෙස ඉල්ලා සිටිනවා ‘යැයිද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් බාධකවලින් තොර ශ්‍රී ලංකාවක් සඳහා ප්‍රවේශවීමේ හැකියාව වර්ධනය, ආබාධිත බව ඇතුළත් සංචාරක ව්‍යාපාරයෙන් ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම පිළිබඳව සාකච්ඡා වැඩසටහනක් ද මෙහිදී පැවැත්විණි.සමාජ සවි බල ගැන්වීමේ රාජ්‍ය ඇමැති අනුප පැස්කුවල්, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත අසුසා කුබෝතා, කාන්තා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශයේ ලේකම් යමුනා පෙරේරා මහත්ම මහත්මීහුද මෙහිදී අදහස් පළ කළහ.

ආබාධ සහිත තැනැත්තන්ට සමාජයට අවහිරයක් නොවන පරිදි ජීවත්වීමේ වටපිටාවක් නිර්මාණය කිරීම සඳහා කාගිල්ස් හා පීසා හට් ආයතන විසින් රැකියා අවස්ථා ලබාදීමට පියවර ගෙන ඇති අතර, ඒ වෙනුවෙන් පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ද අධිකරණ ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු විය. ආබාධිත සහිත තැනැත්තන්ගේ සංගීත හා නර්තන හැකියාවන් ඉදිරිපත් කිරීම ද මෙහිදී සිදු විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT