මෙම වසරේ ජනවාරි සිට මේ දක්වා කාලයේ දී පොල්තෙල් මෙට්‍රික් ටොන් හැත්තෑ එක් දහස් පන්සිය අසූ තුනක් ආනයනය කර තිබෙන බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර පාර්ලිමේන්තුවේ දී ඊයේ (30) පැවසීය.
ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මෙසේ ද පැවසීය.
එමෙන්ම පසුගිය වසරේ දී ආනයනය කර ඇත්තේ මෙට්‍රික් ටොන් දොළොස් දහස් හත්සිය දහඅටක් පමණක් වේ. එමෙන්ම 2020 සහ 2021 යන වසරවල පිළිවෙළින් මෙට්‍රික් ටොන් හැත්තෑ හය දහස් හයසිය හැට තුනක් සහ අනූ අටදහස් හයසිය හතළිහක් ආනයනය කර ඇත.
එමෙන් ම මෙම වසරේ මේ දක්වා මෙරට නිෂ්පාදිත පොල්තෙල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් තිස් අටදහස් දෙසිය පනස් එකක් වන අතර පසුගිය වසරේ එම ප්‍රමාණය මෙට්‍රික් ටොන් හැට අටදහස් පන්සිය අසූ හතකි. මෙට්‍රික් ටොන් දහසය දහස් හත්සිය පනස් නවයක් සහ හතළිස් තුන් දහස් තිස්අටක් පිළිවෙළින් පසුගිය 2020 සහ 2021 වසරවලදී නිෂ්පාදනය කර තිබේ.