Home » පොල් වගාව නැංවීමට පස් අවුරුදු ක්‍රියාකාරී සැලැස්මක් සකසන්න

පොල් වගාව නැංවීමට පස් අවුරුදු ක්‍රියාකාරී සැලැස්මක් සකසන්න

by mahesh
December 1, 2023 1:00 am 0 comment

බුද්ධිකා ඉඹුලාන

මෙරට පොල් අපනයනයෙන් ලබන ආදායම ඩොලර් බිලියන 02ක් දක්වා ඉහළ නැංවීම ඉලක්ක කරමින් පොල් වගාව නැංවීම පිණිස පස් අවුරුදු ක්‍රියාකාරි සැලැස්මක් සකස් කරන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇති මහින්ද අමරවීර මහතා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් ලබා දී ඇත.

එම පස් අවුරුදු ක්‍රියාකාරී සැලැස්ම 2024 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට යෝජිත අතර ඒ සඳහා පොල් සංවර්ධන අධිකාරිය, පොල් පර්යේෂණ ආයතනය හා ලුණුවිල පොල් පර්යේෂණායතනය ඇතුළු සියලු අංශවල දායකත්වය ලබාදිය යුතු බව ද ඇමැතිවරයා අවධාරණය කර තිබේ.

පෙරේදා (29) පොල් සංවර්ධන අධිකාරියේ ඉදිරි කටයුතු සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවක දී ඇමැතිවරයා මෙම උපදෙස් ලබා දී තිබේ.

අප රටේ පොල් හා පොල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉහළ ඉල්ලුමක් තිබුණද තවමත් මෙරට සමස්ත පොල් නිෂ්පාදනයෙන් සියයට 75ක් යොදා ගනු ලබන්නේ දේශීය පරිභෝජනය සඳහාය. ඉතිරි සියයට 25ක ප්‍රමාණය අපනයනය කළ ද දේශීය වශයෙන් පොල් හිඟ වන අවස්ථාවන්හි දී එම අපනයන කටයුතු අඩාළ වේ. මේ නිසා ජාත්‍යන්තර වෙළෙඳ පළේ අප රට සතු ඉල්ලුම වෙනත් රටවලට ඇදී යනු ලබයි. මෙම තත්ත්වය වළක්වාලීමට නම් රටේ පොල් නිෂ්පාදනය ඉහළ නැංවීම මෙන්ම දේශීය වශයෙන් පොල් පරිභෝජන රටාව වෙනස් කළ යුතුය.

විශේෂයෙන් දේශීය පොල් පාරිභෝජනයේදී දෛනිකව පොල්වලින් විශාල ප්‍රමාණයක් අපතේ යන බව ද මෙම සාකච්ඡාවේ දී අවධාරණය විය.

දැනට අප රටේ වාර්ෂික නිෂ්පාදනය පොල් ගෙඩි මිලියන 3000කට ආසන්නය. ඉන් සියයට 75ක් දේශීය පරිභෝජනය සඳහා යොදා ගැනේ. මේ නිසා පොල් වගාවේ අස්වනු වැඩි කිරීම සඳහා පොල් වගාවට පොහොර යෙදීම සඳහා ගොවීන් පෙලඹවීම අත්‍යවශ්‍ය බව ද මෙහිදී අවධානය යොමු විණි. දැනට ගොවීන් පොල් වගාවට පොහොර යෙදීමට පියවර නොගැනීම අස්වනු අඩු වීමට හේතු වී තිබේ. එම නිසා විධිමත්ව වගා කිරීම සඳහා අවශ්‍ය පියවර යෝජනා කරන ලෙස ද ඇමැතිවරයා නිලධාරින්ට උපදෙස් ලබාදෙන ලදි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT