පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විවාද ගණනාවක් සිදු කළත් එම විවාදවලින් කිසිවක් සිදු නොවූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (30) ප්‍රකාශ කළේය.
එහිදී විපක්ෂය මඟින් සැප්තැම්බර් 11 වැනිදා කොමිසමට සමාන කොමිසමක් විපක්ෂයේ සභාපතිත්වයෙන් පත් කළ යුතු බවට යෝජනා කළ ද එවන් කිසිවක් සිදු නොවූ බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා පවා බලයට ආවේ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයන බව සඳහන් කරමින් බව ද විපක්ෂ නායකවරයා පැවසීය.
එසේම වත්මන් ජනාධිපතිවරයා පවා අවස්ථා ගණනාවකදී පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව සඳහන් කළ ද කිසිවක් සිදු නොවූ බවත් හෙතෙම පැවසීය. කෙසේ වුවද කවුරුන් හෝ මේ සත්‍ය සඟවමින් සිටින බැවින් මීට සම්බන්ධ කිසිදු පාර්ශ්වයකට සමාවක් නොදී ගතයුතු උපරිම නීති පියවර ගත යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී සිය අදහස් ඉදිරිපත් කරමිනි.
මෙම ත්‍රස්ත ප්‍රහාරයට ඍජුවම හෝ වක්‍රව දායක වූ අයටත් මෙය වළක්වන්න කටයුතු නොකරමින් රාජකාරිය පැහැර හැරි අයටත් කිසිදු රැකවරණයක් හෝ සහායක් නැති බවත් කතෝලික ජනතාව මෙන්ම රටේ ජනතාවත් ලොකු වේදනාවකට ලක්වී ඇති බැවින් මේ ත්‍රස්තවාදයට රට තුළ ඉඩක් නැති බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.