Monday, April 21, 2025
Home » නිවර්තන කලාපීය රටවල් මුහුණ දෙන දේශගුණ විපර්යාස සඳහා යෝජනා තුනක් ශ්‍රී ලංකාවෙන් එ/ජා දේශගුණ සමුළුට

නිවර්තන කලාපීය රටවල් මුහුණ දෙන දේශගුණ විපර්යාස සඳහා යෝජනා තුනක් ශ්‍රී ලංකාවෙන් එ/ජා දේශගුණ සමුළුට

by mahesh
December 1, 2023 1:00 am 0 comment

මහින්ද අලුත්ගෙදර

නිවර්තන කලාපීය රටවල් බරපතළ ලෙස මුහුණ දෙන දේශගුණ විපර්යාස සඳහා තිරසර විසඳුම් දෙන යෝජනා 3ක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බව විදේශ කටයුතු ඇමැති, ජනාධිපති නීතිඥ එම්.යූ.එම්. අලි සබ්රි මහතා පැවසීය. ඔහු මේ බව සඳහන් කළේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පෙරේදා (29) පෙරවරුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවට එක් වෙමිනි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහිදී ඊයේ (30) ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ 28 වැනි සමුළුව සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම මෙහිදී සිදු විය.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ විදේශ ඇමැතිවරයා:

“මේ දේශගුණික විපර්යාස හේතුවෙන් පීඩාවට පත් වන්නේ ශ්‍රී ලංකාව ඇතුළු නිවර්තන කලාපයේ රටවල්. ලෝකයේ රටවල් 136ක් නිවර්තන කලාපයට අයත් වෙනවා. ලෝක ජනගහනයෙන් 40%ක් පමණ ඊට අයත් වනවා. මේ විපර්යාසයට හේතුව පරිසර දූෂණයයි. ඊට දායක වන්නේ වැඩි වශයෙන් නිෂ්පාදනය කරන අයයි. ඒත් පීඩා විඳින්නේ අඩුවෙන්ම නිෂ්පාදනය කරන සහ අඩුවෙන්ම පරිසර දූෂණයට දායක වන ශ්‍රී ලංකාව වැනි රටවල්. මෙය වෙනස් කිරීමට විවිධ ක්‍රමවේද සාකච්ඡාවට ලක් වනවා. මෙවැනි තත්ත්වයන්ට තුන්වැනි ලෝකයේ රටවලට මුදල් යොදවන්න අපහසුයි. මේ වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරන්න වෙනවා. ඒකට මුදල් අවශ්‍ය වෙනවා. මේ නිසා පැරිස් නගරයේ පැවැති 26 වැනි සමුළුවේ දී පරිසර දූෂණයට දායක වන රටවල් විසින් අවුරුද්දට අමෙරිකානු ඩොලර් මිලියන 1000ක් ලබාගත යුතුයි කියා. ඒ කෙසේ වුණත් කිසිවෙකු දී නැහැ. වැඩියෙන් පරිසර දූෂණයට දායක වන රටවල් වැඩියෙන් මේ මුදල් යෙදවිය යුතු වුවත් එය සිදු වන්නේ නැහැ. ඒ අනුව මෙවර සමුළුවට ශ්‍රී ලංකාව ක්‍රියාකාරිව සහභාගි වෙනවා. මෙහිදී කරුණු තුනක් ඉදිරිපත් කරන්න අප බලාපොරොත්තු වනවා. ප්‍රතිපත්තිමය වශයෙන් අලුත් තීන්දු තීරණවලට එළඹීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව තුළ යම් බල කිරීමක් කිරීම, තුන්වැනි ලෝකයේ රටවල් මේ සඳහා එකතු කරගෙන කණ්ඩායමක් ලෙස නායකත්වය දීම සහ දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා පරිවර්තන සිදු කිරීම සඳහා අවශ්‍ය ආයෝජන ජාත්‍යන්තර ප්‍රජාවගෙන් දිය යුතුයි යන්නට මැදිහත් වීම ඒ කරුණු තුනට අයත් වනවා.”

දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා:

“දේශගුණ විපර්යාස පිළිබඳ සමුළුව ලෝකයේ ප්‍රධාන පෙළේ සමුළුවක්. බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු ඇතුළුව ලෝකයේ රාජ්‍ය නායකයන් 136ක් ඊට පැමිණීමට නියමිතයි. ප්‍රබල ව්‍යාපාරිකයන් හා සංවිධාන රැසක් එනවා. ඒ නිසාම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ අවධානය මේ කෙරේ යොමුව තිබෙනවා. ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාව දේශගුණ විපර්යාස සම්බන්ධයෙන් විශාල හඩක් නඟනවා. මේ පිළිබඳව අපි සාකච්ඡා කරනවා. විසඳුම් සොයනවා. දේශගුණ විපර්යාස හේතුවෙන් ශ්‍රී ලංකාවට වාර්ෂිකව විශාල වශයෙන් හානි සිදු වනවා. ආර්ථික වශයෙන් ඩොලර් මිලියන ගණනක පාඩු සිදු වනවා. මේ නිසා අනෙකුත් රටවල් එක්ක ජනාධිපතිවරයා විසින් යෝජනා තුනක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. දේශගුණික යුක්ති සංසදය එයින් ප්‍රධාන වෙනවා. දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් වන විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කරන්නත් ජනාධිපතිවරයා බලාපොරොත්තු වනවා. ජාත්‍යන්තර වශයෙන් පර්යේෂණ පවත්වමින් එමඟින් රටටත් අනෙකුත් රටවලටත් විසඳුම් සෙවීම මෙයින් අපේක්ෂා කරනවා.”

පරිසර ඇමැති, ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල, විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහත්වරුද මෙහිදී අදහස් දැක්වූහ. ජාතික තරුණ සේවා සභාවේ සභාපති පසිඳු ගුණරත්න මහතාද මේ අවස්ථාවට එක් වී සිටියේය. සමුළුව එළඹෙන දෙසැම්බර් මස 12 දා තෙක් පැවැත්වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT