කුරුණෑගල ආගමන විගමන දෙපාර්තමේන්තුවට දිවයිනේ නන් දෙසින් දිනපතා විදේශ ගමන් බලපත‍්‍ර ලබා ගැනීම සහ අලූත් කර ගැනීමට පැමිණෙන ජනතාවගෙන් මුදල් ගසා කන කොල්ලකරුවන් පිරිසක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත.
මෙසේ පැමිණෙන ජනතාවට අංක ලබා දීම සඳහා රුපියල් 7000ක 8000ක පමණ මුදලක් ලබාගන්නා සංවිධානාත්මක කණ්ඩායමක් කුරුණෑගල ආගමන විගමන කාර්යාලය වටා සිටින බව අනාවරණය වී ඇත. ආගමන විගමන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප‍්‍රාදේශීය කාර්යාල හතරෙන් විශාල කාර්යභාරයක් ඉටුකරන කුරුණෑගල දිස්ත‍්‍රික් කාර්යාලය අළුයම 5 ට පමණ පැමිණ සිටින පිරිසට අංක ලබා දීම ආරම්භ කරන විටත් නිල නොලත් තැරැව්කරුවන් විසින් ඔවුන්ගේ කාර්ය හමාර කර ඇති බව දැනගන්නට තිබේ.
දිවයින පුරා පවතින 450 කට අධික විදේශ රැකියා ඒජන්සි වලින් 300 කට ආසන්න සංඛ්‍යාවක් කුරුණෑගල නගරය සහ අවට පිහිටා ඇති අතර දිවයිනේ දුර බැහැර සිට මෙම විදේශ රැකියා ආයතන වලට පැමිණෙන පිරිස්වලට ආගමන විගමන කාර්යාලයේ පවතින පෝලිමේ මුල් අංක ලබා ගැනීමට විදේශ රැකියා ආයතන වලින් තැරැව්කරුවන් යොදාගෙන මෙම අංක සොරකම කාලයක සිට කර ගෙන යන බවට කාර්යාලය අවට ප‍්‍රදේශවාසීන් පවසයි. දිනකට විදේශ ගමන් බලපත් 150ත් 200ත් අතර ප‍්‍රමාණයක් නිකුත් කරන කුරුණෑගල කාර්යාලය සීමිත සේවක සංඛ්‍යාවකින් සහ අවම පහසුකම් සහිතව කරන බව දැනගන්නට ඇති අතර සතිපතා කෝටි ගණනක් රජයට උපයා දෙන ආයතනයක් වේ.
රාත‍්‍රී කාලයේ දී ක‍්‍රියාත්මක වන මෙම තැරැව්කරුවන් ඔවුන්ට අවශ්‍ය පරිදි නාම ලේඛනයක් සකස් කර රැකියා ආයතන වලට මුල් නොම්බර ලැබෙන පරිදි වරින් වර පැමිණෙන අනෙකුත් පුද්ගලයන්ගේ සහ බොරු නම් කිහිපයක් ද ඇතුළත් කර අළුයම 5.00 වන විට සකස් කරන ලද නාම ලේඛනයට අනුව ආගමන විගමන කාර්යාලයේ මුද්‍රාව සහිතව නිකුත් කරන නොම්බර උපක‍්‍රමශීලීව ලබාගනීයි. දිනෙන් දින අලූත් වන පුද්ගලයින් මෙම කාර්යාලය වෙත පැමිණීම නිසාත් මුදල් දී නොම්බර ලබා ගත් බව ප‍්‍රසිද්ධ කිරීමට පුද්ගලයන් අකමැති නිසාත් මෙම ජාවාරම දිගටම කර ගෙන යාමට ජාවාරම්කරුවන්ට හැකි වී ඇත.
මේ පිළිබඳව කළ විමසුමක දී කුරුණෑගල ආගමන විගමන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීයෙක් මෙම අංක ජාවාරම සම්බන්ධව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු නිලධාරීන් දැනුවත් කර ඇති බවත්, මීට පෙර මෙම සිද්ධිය සම්බන්ධයෙන් කීපදෙනකු අත්අඩංගුවට ගත් බව ද ඒ මහතා පැවසීය.