Wednesday, April 9, 2025
Home » මීගොඩ ආයුර්වේද රෝහල ස්නායු රෝහලක්‌ ලෙස සංවර්ධනය කිරීමට පියවර

මීගොඩ ආයුර්වේද රෝහල ස්නායු රෝහලක්‌ ලෙස සංවර්ධනය කිරීමට පියවර

වසර 40කට වඩා පැරණි ආයුර්වේද රෝහලේ ඉදිරි වැඩ ගැන සාකච්ඡාවකට එක්වෙමින් ඇමැති ආචාර්ය බන්දුල කියයි

by mahesh
November 29, 2023 1:00 am 0 comment

සුභාෂිණි සේනානායක
ප්‍රතිකාර ගැනීමට ආ ප්‍රදේශවාසීන් සමඟ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන සුහද කතා බහක

මීගොඩ ආයුර්වේද රෝහල, ස්නායු පිළිබඳ ජාතික රෝහලක්‌ ලෙස සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. වසර හතළිහකට වඩා පැරණි මීගොඩ ආයුර්වේද රෝහලේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කීවේය.

හෝමාගම ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපතිවරයා වූ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මේ සාකච්ඡාවෙන් පසු රෝහල් පරිශ්‍රයේ දැනට සිදු කෙරෙන ප්‍රතිකාර කටයුතු, සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ විශේෂ නිරීක්ෂණයකටද හෙතෙම එක් විය.

එහිදී ඇමැතිවරයා මෙසේද පැවසීය.

“දේශීය වෛද්‍ය ක්‍රමයට අනුව පවත්වාගෙන යන බස්නාහිර පළාතේ ප්‍රමුඛතම ආයුර්වේද රෝහලක්‌ වන මීගොඩ ආයුර්වේද රෝහල එවක සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කළ ගාමිණී ජයසූරිය මහතා විසින් ආරම්භ කර ඇති අතර පසු කලෙක එය පළාත් සභාවේ පාලනය යටතට පැවරී තිබෙනවා.

පසුගිය කාලයේ එය නැවත මධ්‍යම රජය වෙත පවරා ගෙන මධ්‍යම රජයේ ප්‍රධාන රෝහලක් ලෙස ගොඩනැඟීමේ සැලැස්මක් පැවතුණා. නමුත් පළාත් ආණ්ඩුකාරවරයා සහ පළාත් ප්‍රධාන ලේකම්ගේ ඉල්ලීම පරිදි ඉදිරියේදී පළාත් ක්‍රමය වෙත වැඩි බලතල ප්‍රමාණයක් හිමිවන අවස්ථා වන විට මේ කටයුතු පළාත් සභා මඟින් කිරීමට වැඩි ඉඩක් ලබාදීම සුදුසු බව වැටහී තිබෙනවා. ඊට හේතුව මධ්‍යම රජය ජාතික ප්‍රතිපත්ති තීන්දු තීරණ කිරීමේ ආයතනය ලෙස කටයුතු කිරීම වඩා ප්‍රායෝගික ක්‍රමය වීමයි. ඒ අනුව ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපතිවරයා ලෙස මීගොඩ ආයුර්වේද රෝහල මධ්‍යම රජයට පවරා ගැනීමකින් තොරව පළාත් සභාව යටතේ ක්‍රියාත්මක කිරීමට අප තීරණය කර තිබෙනවා.

ඒ අනුව මේ රෝහල පළාත් සභාව විසින්ම විවිධ අත්හදා බැලීම්, පර්යේෂණ, ඉගෙනුම් ක්‍රියාවලියක් සිදුවන, ස්නායු පිළිබඳ ජාතික රෝහලක්‌ ලෙස සංවර්ධනය කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

මේ වන විට රටේ අති විශාල බහුතරයක් ස්නායුගත ආබාධවලට මුහුණපා සිටිනවා. දැනටත් විශාල පිරිසක් බාහිරව සහ නේවාසිකව ප්‍රතිකාර ලබන මේ රෝහලේ තත්ත්වය තවත් ගුණාත්මක අතින් ඉහළට රැගෙන යෑම සඳහාත්, සංචාරක ආකර්ෂණය ඇති කර ගත හැකි පරිදි වර්ධනය කිරීම ඉතාමත් කාලෝචිතයි. එයින් රටට ඩොලර් උපයා ගැනීමේ නව මාධ්‍යයක් ඇති කර ගැනීමේ හැකියාව ද පවතිනවා.

මේ වන විට ඉන්දියාවේ කේරළ ප්‍රදේශයේ ආයුර්වේද හා පංචකර්ම ප්‍රතිකාර දේශිය මෙන්ම විදේශීය සංචාරකයන් අතර අතිශය ජනප්‍රිය තත්ත්වයට පත්ව තිබෙනවා. මේ ආයුර්වේද ප්‍රතිකාර මාධ්‍යස්ථානය ද එවැනි තත්ත්වයකට නඟා සිටුවීම අපේ අරමුණයි. ඒ වෙනුවෙන් මේ අවට ඇති අතිසුන්දර පරිසරය නියමිත ආකාරයට සකස් කිරීමෙන් හෝමාගම මීගොඩ ප්‍රදේශවලට පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාවටම කේන්ද්‍රීය ආයුර්වේද මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනයට නිශ්චිත වැඩපිළිවෙළක් සකස් කර ක්‍රියාත්මක කළ යුතුයි. ඉතාමත්ම පැරණි තත්ත්වයේ පවතින ගොඩනැඟිලි හා වත්කම් පෞද්ගලික අංශයේ දායකත්වයද ලබා ගැනීමෙන් කළමනාකරණය කිරීමේ ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කිරීම මේ අවස්ථාවේ රජයට පවතින ප්‍රතිපාදන හිඟයට ද විසඳුමක් වනු ඇත. ඒ තුළින් රටටම ආදර්ශයක් සපයන ආයතනයක් බවට මේ ආයතනය පත්කිරීමට හැකි වනු ඇති බව මා විශ්වාස කරනවා.

බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ප්‍රදීප් යසරත්න, හෝමාගම ප්‍රාදේශීය ලේකම් ඩී. ඒ. ඩී. චින්තක මහත්වරුද, මීගොඩ ආයුර්වේද රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂවරිය ඇතුළු රෝහල් පරිපාලන කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් මේ සාකච්ඡාවට එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT