දීර්ඝ කාලයක් පුරා පවතින ග්‍රාමසේවා නිලධාරීන්ගේ ප්‍රශ්නවලට සාධනීය විසඳුමක් ලබා දීමට කටයුතු කරන්නැයි ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ෂාන් විජයලාල් ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (28) ඉල්ලා සිටියේය. ඔවුන්ගේ සේවා ව්‍යවස්ථාව සම්බන්ධ ගැටලුව කාරක සභා අවස්ථාවේ දී යොමුකළ විට ඒ දෙස අගමැතිවරයා සහ රාජ්‍ය ඇමැතිවරුන් සාධනීය ලෙස බැලීම ගැන සතුටට පත්වන බව හෙතෙම කීවේය.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ අවස්ථාවේ විවාදයට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. ග්‍රාමසේවා නිලධාරීන් පැය 24 පුරා දින හයක් වැඩ කරන බව පැවැසූ ඒ මහතා ඔවුන්ගේ උසස්වීම් හා වැටුප් ප්‍රශ්න විසඳා සාධාරණය ඉටුකර දිය යුතු බව කියා සිටියේය.
මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය. අද පළාත් සභා ගැන ඇතැම් පිරිස් කතා කරනවා. පළාත් සභා ජනතාව ඉල්ලුවේ නැහැ. එවකට හිටපු රජයයි පළාත් සභා ඇති කළේ. මාත් පළාත් සභාවේ වසර ගණනාවක් ඉඳලා තියෙනවා. මහ ඇමැතිවරයා විදියට, ඇමැතිවරයෙකු විදිහට. ඒ විතරක් නෙවෙයි ආණ්ඩුකාරවරයකු ලෙසත් සේවය කරලා තියෙනවා. මම කියන්නේ නැහැ පළාත් සභා ඇති කිරීමේ සියලු අරමුණු ඉටු වුණා කියලා. එහෙත් ඉන් පළාතට, දිස්ත්‍රික්කවලට සුවිශේෂී සේවාවක් ඉටු වුණා.