අහංගම, කතලුව පිහිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතාගේ සංචාරක හෝටලයට ඊයේ (28) අලුයම කඩාවැදුණු අවි ගත් පිරිසක් එහි ආරක්ෂක නිලධාරියාගෙන් නීතිඥවරයා කොහේදැයි විමසා ඒ ගැන තමන් නොදන්නා බව පැවසීමෙන් පසුව ඔහු පැහැරගෙන ගොස් තිබේ. මොවුන් මෙම ආරක්ෂක නිලධාරියාව අතරමඟ දමා ගොස් තිබියදී හමු වූ බව අහංගම පොලිසිය පවසයි. ඊයේ අලුයම 2.30ට පමණ ප්‍රාඩෝ රථයකින් රියැදුරු සමඟ පැමිණි සිව්දෙනකුගෙන් දෙදෙනකු රථයෙන් බැස හෝටලය වෙත ගොස් ටී-56 ගිනි අවියක් ආරක්ෂක නිලධාරියාට එල්ල කොට ජනාධිපති නීතිඥවරයා සිටින ස්ථානය ආරක්ෂක නිලධාරියාගෙන් විමසා ඇත.
එවිට ඒ පිළිබඳ තමා කිසිවක් නොදන්නා බව හෙතෙම පවසා තිබේ. ඊට පසුව අවි ගත් දෙදෙනා ආරක්ෂක නිලධාරියා අල්ලා ඔහුගේ ඇස් දෙක බැඳ රථයට දමාගෙන ගාලු පාර ඔස්සේ පලා ගොස් අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේදී ආරක්ෂක නිලධාරියා බිමට ඇද දමා පලා ගොස් ඇති බව මූලික විමර්ශනවලදී හෙළි වී ඇත. ආරක්ෂක නිලධාරියා බිමට දැමීමට පෙර ප්‍රාඩෝ රථය ඉන්ධන පිරවුම්පොළක් වෙත ගොස් ඉන්ධන ලබාගෙන මුදල් නොගෙවා පලා ගොස් ඇති බව ද වාර්තා වෙයි.
අහංගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලක ජයවීර මහතාගේ උපදෙස් පරිදි මේ පිළිබඳ පරීක්ෂණ පවත්වයි.