එක් වරක් පමණක් භාවිත කර පරිසරයට බැහැර කරන පොලිඑතිලීන් ටෙරෙෆ්තලේට් (PET) සහ හයි ඉම්පැක්ට් පොලිස්ටිරින් (HIPS) ප්ලාස්ටික් ඇසුරුම්වලට තැන්පතු මුදලක් අය කර එම තැන්පතු ආපසු ගෙවීමේ ක්‍රමවේදයක් සඳහා QR කේත පද්ධතියක් හඳුන්වා දීමට පරිසර ඇමැති, ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය මඟින් අනුමත කර ඇත.
එම ක්‍රමවේදය යටතේ පාරිභෝගිකයා විසින් අදාළ භාණ්ඩය මිල දී ගන්නා අවස්ථාවේදී විකුණුම්කරු තාවකාලික මුදල් තැන්පතුවක් ලබා ගන්නා අතර, හිස් බෝතලය/ඇසුරුම් ආපසු ලබා දුන් විට තාවකාලික තැන්පතුව පාරිභෝගිකයා වෙත ආපසු දීමට පියවර ගනු ලබයි. මෙම ක්‍රමවේදය තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා QR කේත පද්ධතියක් හඳුන්වා දීම යෝග්‍ය බවට හඳුනාගෙන ඇත. ඒ සඳහා සුදුසු ආයතන වෙතින් යෝජනා කැඳවීම සහ තෝරාගනු ලබන ආයතනය මඟින් QR කේතයක් පදනම් කරගත් තැන්පතු ආපසු ගෙවීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම සඳහා මෙම යෝජනා ඉදිරිපත් කර ඇත.
ප්ලාස්ටික ඇසුරුම් වශයෙන් පාවිච්චි කරනු ලබන පොලිඑතිලීන් ටෙරෙෆ්තලේට් (PET) බෝතල් සහ හයි ඉම්පැක්ට් පොලිස්ටිරින් (HIPS) කෝප්ප සහ අනෙකුත් ප්ලාස්ටික් බහාලුම් බොහෝ විට එක් වරක් පමණක් භාවිත කර පරිසරයට බැහැර කරනු ලබයි. එවැනි අපද්‍රව්‍ය බැහැර කිරීමේදී ඇතැම් පාරිභෝගිකයන් විසින් වගකීම් විරහිතව කටයුතු කිරීමත් කාර්යක්ෂම එකතු කිරීමේ ක්‍රමවේදයක් නැති වීමත් හේතුවෙන් එම ප්ලාස්ටික් අපද්‍රව්‍ය සංවේදී පරිසර පද්ධතීන්ට ඇතුළුව බාහිර පරිසරයට එකතු වෙමින් පවතී. එම තත්ත්වය පාලනය කිරීමේ අරමුණින් මධ්‍යම පරිසර අධිකාරිය මඟින් ශ්‍රී ලංකාව තුළ ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම සඳහා නියමු ව්‍යාපෘති 02ක් ක්‍රියාත්මක කර ඇත. නියමු ව්‍යාපෘති දෙකෙහි ප්‍රතිඵල මත හිස් බහාලුම් නැවත එකතු කර ගැනීමේදී තාවකාලික තැන්පතුව ආපසු ගෙවීමේ ක්‍රමවේදය යෝග්‍ය බවට හඳුනාගෙන තිබේ.