Sunday, April 20, 2025
Home » ප්‍රතිදේහ එන්නත් වංචාව මුදල් අමාත්‍යාංශ අධ්‍යක්ෂවරුන් දෙදෙනකුගෙන් CIDය ප්‍රකාශ ගනී

ප්‍රතිදේහ එන්නත් වංචාව මුදල් අමාත්‍යාංශ අධ්‍යක්ෂවරුන් දෙදෙනකුගෙන් CIDය ප්‍රකාශ ගනී

by mahesh
November 29, 2023 1:00 am 0 comment

ගයාන් කුමාර වීරසිංහ

නිසි ක්‍රමවේදයෙන් තොරව HUMAN IMMUNOGLOBULIN නමැති ප්‍රතිදේහ එන්නත් ව්‍යාජ ලේඛන යොදා ගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය වෙත සපයා වංචා කිරීම සම්බන්ධයෙන් වූ විමර්ශනයට අදාළව මුදල් අමාත්‍යාංශයේ අධ්‍යක්ෂවරුන් දෙදෙනකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (28) ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

මෙසේ ප්‍රකාශ සටහන් කරගෙන ඇත්තේ මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරියගෙන් සහ මුදල් අමාත්‍යාංශයේ මූල්‍ය සංවර්ධන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙනි.

මෙම ප්‍රකාශ සටහන් කර ගැනීම සිදු කරනු ලැබුවේ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් අවසරයක් මත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු සඳහන් කළේය.

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ද මේ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අවසර ලබාගෙන තිබුණේය. මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් මෙතෙක් ප්‍රකාශයක් සටහන් කරගෙන නැති බවත් අධ්‍යක්ෂවරු දෙදෙනකුගෙන් පමණක් ඊයේ ප්‍රකාශ සටහන් කරගෙන තිබුණු බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමාට තහවුරු කළ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඉදිරියේදී තවත් කිහිපදෙනකුගෙන් ප්‍රකාශ ගැනීමට නියමිත බව සඳහන් කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ එවකට සිටි ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතාගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් පසුගිය 06 වැනිදා මෙම වංචාව සම්බන්ධයෙන් දීර්ඝ ලෙස ප්‍රකාශයක් සටහන් කරගෙන තිබිණි.

මෙම වංචාව සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයට අදාළව වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ කපිල වික්‍රමනායක, එහි නියෝජ්‍ය අධ්‍යක්ෂිකාවක වන සොලමන් වශිහරන්, එහි සැපයුම් අංශයේ ගණකාධිකාරී නිරාන් ධනංජය සහ තොග පාලක සුජිත් වසන්ත කුමාර යන සිව්දෙනාව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත්තේය. මේ වන විට ඔවුන් සිටින්නේ රක්ෂිත බන්ධනාගාරගතවය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද පැමිණිලි 05ක් සම්බන්ධයෙන් මෙම වංචාවට අදාළ විමර්ශනය ආරම්භ කර තිබිණි. ඊට අදාළව හඳුනාගත් පුද්ගලයන් 13 දෙනකුට විදෙස් ගමන් තහනමක් ද මේ වන විට පනවා ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT