ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදි ගැටුම් පැවති දීර්ඝ කාලයේදී සියලු ජාතීන් සහ ආගම්වලට අයත් ජනතාව දුෂ්කරතා රැසකට මුහුණ දුන් බවත් එය වර්තමානයේ පලස්තීනයේ යුද ගැටුම්වලට සමාන බවත් ශ්‍රී ලංකාවෙන් බිහිවූ ලොව විශිෂ්ටතම දඟපන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ප්‍රකාශ කළේය.
වසර 2009දී පාකිස්තානයේ ලාහෝර් නුවරදී ශ්‍රී ලංකා කණ්ඩායමට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූ අවස්ථාවේදී සියලු ක්‍රීඩකයන් සිය ආරක්ෂාව තහවුරු කරගනු ලැබුවේ ශ්‍රී ලංකාවේදී එවැනි අත්දැකීම්වලට මුහුණ දුන් නිසා බවත් ඔහු ඉන්දීය මාධ්‍යයට කියා සිටියේය. මුරලිදරන් මේ ප්‍රකාශය සිදු කරනු ලැබුවේ සිය ‘800’ චරිතාපදාන සිනමා නිර්මාණය සමඟ ඉන්දියාවේ ගෝවේ නුවර පැවැති ජාත්‍යන්තර චිත්‍රපට උළෙලට එක් වූ අවස්ථාවේදීය.
ඉන්දියාව විශේෂයෙන් තමිල්නාඩු රජය ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය පිළිබඳ අවබෝධ කර ගැනීමට අසමත් වූ බව සඳහන් කළ මුරලිදරන්, තමිල්නාඩුවේ ඇතැම් දේශපාලනඥයන් තමා ජාතියට ද්‍රෝහි වූ බවට චෝදනා එල්ල කළේ එම අනවබෝධය නිසාම බව ද පැවැසීය.
”ශ්‍රී ලංකාවේ එවකට තිබුණු සිවිල් යුද්ධය ඉන්දියාව කවදාවත් අවබෝධ කර ගත්තේ නෑ. ඒක තමයි අවංක පිළිතුර. මම ඒක කියන්න බය නෑ. ඉන්දීය මධ්‍යම රජය කියල නෙවෙයි මම කියන්නේ තමිල්නාඩු රජය ශ්‍රී ලංකාවේ තිබුණු තත්ත්වය කවදාවත් තේරුම් ගත්තේ නෑ කියලයි. ශ්‍රී ලංකාවේ දෙමළ ප්‍රජාව ගත්තම කොටස් කිහිපයක්ම තිබෙනවා. ඒ හැමෝම එකිනෙකට සම්බන්ධ වුණත් දේශපාලන වශයෙන් එකිනෙකාට වෙනස්.” මුරලිදරන් වැඩිදුරටත් එසේ ප්‍රකාශ කළේය.