ප්‍රාණ ඇපකරුවන් හා සිරකරුවන් නිදහස් කිරීමට වැඩි ඉඩකඩක් ලබා දෙමින් ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර දින හතරේ තාවකාලික සටන් විරාමය තවත් දින දෙකකින් දීර්ඝ කිරීමට දෙපාර්ශ්වය එකඟ වූ බව කටාර් රාජ්‍යය නිවේදනය කළේය. දින හතරේ සටන් විරාමයේ අවසන් දිනය වූ සඳුදා ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 11 දෙනකු සහ පලස්තීන සිරකරුවන් 33 දෙනකු නිදහස් ලැබූ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඊශ්‍රායලය විසින් නිදහස් කළ පලස්තීන සිරකරුවන් අතර කාන්තාවන් සහ දරුවන් 30 දෙනකු ද සිටින බව වාර්තා වේ. හමාස් සංවිධානය නිදහස් කළ නියමිත ප්‍රාණ ඇපකරුවන් අතර තුන්හැවිරිදි නිවුන් දැරියන් ද සිටින බව වාර්තා වේ.
දින දෙකක කාලසීමාවක් සඳහා දීර්ඝ කළ සටන් විරාමයේ පළමු දිනය වන ඊයේ හමාස් සංවිධානය නිදහස් කිරීමට නියමිත ප්‍රාණ ඇපකරුවන් අතර ආජෙන්ටිනා ජාතිකයන් 6 දෙනකු සමඟ ප්‍රංශ ජාතිකයන් තිදෙනකු සහ ජර්මන් ජාතිකයන් දෙදෙනකු සිටින බව ද වාර්තා වේ. සටන් විරාමයේ අවසන් දිනය වන අද කාන්තාවන් සහ දරුවන් ඇතුළු තවත් ප්‍රාණ ඇපකරුවන් 20 දෙනකු නිදහස් කිරීමට හමාස් සංවිධානය කටයුතු කරනු ඇතැයි වාර්තා වේ. දින හතරේ සටන් විරාමය අතරතුර ප්‍රාණ ඇපකරුවන් 39 දෙනකු නිදහස ලැබූ බවත්, එම කාලය ඇතුළත ඊශ්‍රායලයේ සිරගතව සිටි පලස්තීන ජාතිකයන් 117 දෙනකු නිදහස් කළ බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. මේ දක්වා කාලය ඇතුළත නිදහස ලැබූ ප්‍රාණ ඇපකරුවන් සහ සිරකරුවන් සියලු දෙනාම යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වන බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.