Wednesday, April 9, 2025
Home » ට්‍රැවිස් හෙඩ් වෙන්න කප් එක අතට ගන්න

ට්‍රැවිස් හෙඩ් වෙන්න කප් එක අතට ගන්න

by mahesh
November 29, 2023 1:00 am 0 comment

මිනිස් අතකින් නිර්මාණය කළ ලොව විශිෂ්ටතම නිර්මාණය වනාහි අවුකන බුදුපිළිම වහන්සේ යැයි ආර්.එල්. බ්‍රෝහියර් සඳහන් කළේය. ජාතියක ආඩම්බරය වන්නේ මේ සා ඇදහිය නොහැකි මට්ටමේ නිර්මාණයන්ය. සිටුවා පස් මත සිය පියා වූ ධාතුසේන රජු ඝාතනය කරන ලද කතා පුවත දෑසින් දුටු අවුකන පිළිම වහන්සේට පෙරේදා සිදු වූයේ කුමක්දැයි අදහාගත නොහැකි වන්නට ඇත. බුද්ධ චීවරයක් සැදැහැ සිතින් ඒ පින්වත්තු පූජා කරන්නට ඇත. ජීවමාන සංස්කෘතියක් තුළ මෙවන් මහානර්ඝ නිර්මාණ පුරාවස්තු පමණක් වන්නේ නැත. ඉන්දුනීසියාවේ බොරෝ බුදුර් සඳහා ඒ රටේ වැසියෝ නමස්කාර කරන්නේ නැත. කලකට පෙර ඉන්දුනීසියාව මුළුමනින්ම ඉස්ලාම් රාජ්‍යයක් බවට පත්විය. ඒ මාහැඟි උරුමය සිය මුතුන් මිත්තන්ගේ ලබ්ධිය වුවද වත්මන් ඉන්දුනීසියානුවෝ බොරෝ බුදුර් දකිනුයේ පුරාවිද්‍යාත්මක ලෙස පමණය. එහි ඇති බුදුපිළිම ඔවුන්ගේ ආගමික හදවත ස්පර්ශ කරන්නේ නැත. අවුකන පිළිම වහන්සේ අපට එහෙම නැත. තවමත් එය අපේ පුද සත්කාරය සඳහා ලක්වන්නේය. ඒ අනුව සමහරක් දනා, සිය බුද්ධ වත සඳහා අවුකන බුදුපිළිම වහන්සේ වෙත චීවර පෙරවීමක් කරන්නට ඇත. දැන් එය විවාද සම්පන්න මාතෘකාවකි. යම් හෙයකින් පිළිම වහන්සේගේ සිරස් පථයකට හෝ හානියක් වූවා නම් සමස්ත මානව සංහතියේ මහා දායාදයක් ඒ මඟින් කැළැල් වන්නට ඉඩ තිබුණි. බුකියේ නිරාලා මේ පූජා සත්කාරයට පහර ගසනුයේ පිළිම වහන්සේගේ ආරක්ෂාව ආදිය බලා නොව, කර වටින් අත් දමා ‘බුද්ධාගමට දෙකක්’ ඇනගෙන යෑමේ ආශාව සන්තර්පණය සඳහාය. ඒ නිසා කීබෝඩ් නිරාලාගේ ගේම සහ වැරැද්දක් වූවා නම්, ඒ කුමක්දැයි අප මනාව හැඳිනගත යුත්තේය.

වැඩේ කියන්නේ මහවිරු සමරුව සඳහා තවමත් උතුරේ කප්පම් ගන්නා කොටි කල්ලි ඇතත් ඒවා ගැන කීබෝඩ් වීරයෝ නිහඬව සිටීමය. බුද්ධාගමට හෝ සිංහලකමට ගරහන්නේ නම්, පෙරට එන නිරාලා ගැන්සිය, මේ පවත් සැල වූ වහාම හැකිළී යන්නේය. යටි සිතින් කොටි පුල්ලි පිරිමදින්නාහ. “ගිනි පිඹපිය… හොරි කඩපිය …” කියා කොටියා කලකට පෙර කියූ දේ තවමත්, මළ කොටියාගේ හම එළාගෙන ඒ සෙට් එක ඉටු කරන්නාහ. මහවිරු සැමරුම සංවිධාන කිරීම සඳහා රුපියල් ලක්ෂ 15ක මුදලක් ඉල්ලා වාලච්චේන, කරුවන්කේනිහි පදිංචි පුද්ගලයකුට තර්ජනය කළ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ බුද්ධි අංශ සාමාජිකයෙක්, වාලච්චේන පොලිසිය විසින් පෙරේදා ඇරස්ට් කළේය.

දිගින් දිගටම මේ ගොවියාගෙන්, එල්.ටී.ටී.ඊ. බුද්ධි මෑන් ‘ගාණ කඩාගෙන’ තිබුණි. මේවා සාමාන්‍ය ආකාරයෙන් සිදු කරන දත ගැලවීම් නොවේ. දත ගලවනවා කියන්නේ, දෙන එකාට ද නොදැනෙන්නට වැඩේ දෙන එකටය. මේ දත් ගලවන්නේ නිර්වින්දනය නොකර බලහත්කාරයෙන් බැවින් වේදනාව උසුලාගත නොහේ. 2021 වසරේ මේ ගොවියාට ස්වීප් එකක් ඇදුණේය. එහෙම යම් වාසියක් උතුරේ අයෙක් වෙත හිමි වූ වහා, කැලෑ කොල්ල කල්ලිය සිතන්නේ, තමන්ගේ සිහින රාජ්‍යය සඳහා ‘නිධානයක්’ පහළ වූවා කියාය. කැනඩාවේ හෝ යුරෝපයේ සිටින දෙමළ මිනිස්සු මේ ‘සංගෙඩිය’ පරම්පරා තුනක් තිස්සේ දැන් කන්නාහ. හම්බු කරන මුදලින් අනිවාර්ය දඩයක් එල්.ටී.ටී.ය ට කප්පම් ලෙස ගෙවීමට ඔවුහු බැඳී සිටින්නෝය. එහෙම නැතිනම් මහ මඟදී ඉළ ඇට පසාරු කරගෙන යන්නට පිහි පහර වදින්නේය. ඔහොම කොල්ලකෑම තවම නතර වී නැත්තේය.

ඒ ගැන කිසිවෙක්, එළිපිට කතා නොකරන්නේය. වෙල්ලිමුල්ලිවයික්කාල් සොහොනට ආයෙත් පණ එනු දකින්නට වැඩියෙන්ම අකැමැති මේ අහිංසක දෙමළ වැසියෝය. එදා කලපු කොනක, නළල පාසරු වන්නට වෙඩි කෑ එකා දැන් සමහරෙක්ගේ ජීවන උපාය ය. දෙමළ දේශපාලනඥයෝ ගණනාවක් මේකාගේ අරමුණ පෙන්වා ඡන්ද ගරන්නාහ. ෆෙඩරල් ඉල්ලා කයිය ගසන්නාහ. අහිංසක දෙමළ මිනිහා තවමත් ඒ යකාගේ නින්දගම් සේ, හම්බු කරන සබ්බ සකලමනාවම, ඔවුනට පූජා කරන්නේය. ඔහොම එකෙක් දෙන්නෙක් අල්ලා ඇතුළට දමා, ඇප ලබා දී එළියට දැමීම නොකළ යුත්තේය. දෑතේ වැඩක් පළක් උගන්වනු පිණිස පුනරුත්ථාපනය සඳහා යොමු කළ යුත්තේය. ආයෙත් ගම් පළාතේ පස් පාගන්නට ඒකා වෙත චාන්ස් එකක් දිය යුත්තේ, කොටි පුල්ලි සදහටම මකා දමාය. එහෙම එකා දෙන්නාගේ පුල්ලි මැකූ කල මෙහෙ සිට තප්පුලනා දේශපාලන අයියලාගේ බැටරි ද නිකම්ම බැස යන්නෝය.

අද මේ වසරේ 333 වැනි දවසය. ගෙවී යන වසර වනාහි අපට බොහෝ දේ එකතු කළ කාලයකි. පෙරේදා උදේ පාර්ලිමේන්තුවේදී කැබිනට් සාමූහිකය බිඳ දමමින් කතා පැවැත්වූ ඇමැති රොෂාන් රණසිංහ, පෙරේදා සන්ධ්‍යාව වන විට ඇමැතිකම අහිමි තත්ත්වයකට පත්විය. ක්‍රිකට් ප්‍රශ්නය මත කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව රොෂාන් රණසිංහ ක්‍රීඩාගාරයට ගොස් අවසානය. හරීන් ප්‍රනාන්දු නව පිතිකරු ලෙස පිටියට පිවිස තිබේ. ඇමැති හරීන් ඉදිරියේ ඇති පළමු ඉලක්කය නම් ක්‍රිකට් තහනම ඉවත් කර ගැනීම සහ ක්‍රිකට් මාෆියාව ගලවා දැමීමය.

අවසාන මහා තරගයේදී ලකුණු 242 ක ඉලක්කයක් හඹා යාමට පැමිණි ඔස්ට්‍රේලියානු ඉනිම, පන්දු වාර 07ක් අවසානයේ කඩුලු 03ක් දැවී ලකුණු 47ක් ලෙස සටහන්ව තිබුණි. ග්‍රවුන්ඩ් සපෝට් එක සමඟ මැච් එක ඉන්දියාවට කැරකී තිබුණි.

ට්‍රැවිස් හෙඩ්, පිටියට එන්නේ මේ අසීරු මොහොතේය. හරීන් ප්‍රනාන්දුගේ ආදර්ශය විය යුත්තේ, ට්‍රැවිස් හෙඩ්ය. අලංකාර ඉනිමක් ක්‍රීඩා කරමින් ලෝක කුසලාන අවසන් මහා තරගයක ශතකයක් රැස් කරමින්, බිලියන අටකට ආසන්න ඉන්දීය දෑස් අගට කඳුළු ගෙන එන්නට, හෙඩ් සමත් විය.

අනුන්ගේ පිටියක සිට මැච් එක අතට ගත් ඒ පෞරුෂය සේ, ඇමැති හරීන් ද දැන් වැඩේට බැසිය යුත්තේය. ඇඟට දැනෙන පරිදි මුල් හරිය ක්‍රීඩා කළා කියන්නේ වැඩේ නැඟලා යන බවය. අන්තිම වෙන කොට දන්නෙම නැතුව කප් එක අතේය. එහෙව් දිනයක් ළඟ ළඟ එනු ඇතැයි මේ තීරුව දැනට විශ්වාස

කරන්නේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT