Home » අධ්‍යාපනය යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාව ඇමති පහදයි

අධ්‍යාපනය යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාව ඇමති පහදයි

by yasara
November 29, 2023 12:39 pm 0 comment

අධ්‍යාපනය යාවත්කාලීන නොවුණහොත් දරුවන් උසස් පෙළ අත්හැර වෙනත් විකල්ප තෝරාගැනීමට යොමු වීම වැළැක්විය නොහැකි බවත්, අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිරත සියලු‍ දෙනාම මේ පිළිබඳ අවබෝධයෙන් වගකීම්සහගත ව හා අවධානයෙන් කටයුතු කළ යුතු බවත්, දරුවන්ගේ වයස්ගත වීම අඩු කරමින් ඔවුන්ගේ අධ්‍යාපන මට්ටම්වල ඉදිරියට යාමට අවස්ථා වැඩිකිරීම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ප්‍රධාන අරමුණක් වන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ SLANSHEI (SriLanka Association of Non-state. Higher Education Institutes)  ආයතනයේ මූලිකත්වයෙන් පැවති  ජාතික උසස් අධ්‍යාපන සම්මේලනයට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.

පාසල්වල සේවය කරන සංවර්ධන නිලධාරීන් සඳහා ගුරුපත්වීම් ලබාදීම සම්බන්ධයෙන් විභාගයක් පවත්වා සම්මුඛ පරීක්ෂණ මගින් ඒ සඳහා පියවර ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය සූදානම් වූ බවත්, එහෙත් ඔවුන් අතරින් පිරිසක් විභාග පැවැත්වීමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර උසාවියේ නඩු පැවරීම නිසා එම විභාගය අත්හිටවූ බවත්, මාස නවයක් පුරා එම පෙත්සම් විභාග වෙමින් පවතින බවත්, අධිකරණ තීන්දු ලැබුනු වහාම ගුරුසේවා ව්‍යවස්ථාවට අනුකූලව ඔවුන් ගුරු සේවයට ඇතුළත් කරගැනීම වෙනුවෙන් පියවර ගන්නා බවත් අමාත්‍යාවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

2023 වර්ෂයේ ජුනි මස පැවැත්වූ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සම්බන්ධව මාධ්‍යවේදියෙකු විසින් කළ විමසීමකට පිළිතුරු දෙමින් මෙහි දී අමාත්‍යවරයා පැවසූයේ විභාග කොමසාරිස්වරයා විසින් ඉදිරි දින කිහිපය ඇතුළත අදාළ ප්‍රතිඵල ලබාදෙනු ඇති බවයි. අතරමැදි ශ්‍රේණිවල සිසුන් පාසල්වලට ඇතුළත් කරගැනීම සම්බන්ධයෙන් ද කළ කරුණු විමසීමකට මෙහි දී පිළිතුරු සැපයූ අමාත්‍යවරයා, 2022 ජුනි මාසයේ විෂය භාර අමාත්‍යධුරයට තමා පත් වූ පසු ඒ සම්බන්ධයෙන් වන ගැටළු අවම වන අයුරින් කටයුතු කිරීම සඳහා චක්‍රලේඛයක් නිකුත් කරන ලද බව ද පැවසීය.

ලබන වසර වෙනුවෙන් දුෂ්කර, අතිදුෂ්කර සහ හුදකලා පාසල් සහ පිරිවෙන්වල සියලු සිසුන් වෙත පාවහන් මිළදී ගැනීම සඳහා තිළිණපත් ලබාදීමට පියවර ගෙන ඇති බවත් රජයට ප්‍රතිපාදන නොමැති සංවර්ධන අවශ්‍යතා සපුරා ගැනීම වෙනුවෙන්  රාජ්‍ය නොවන අංශවල සහාය හෝ ලබාගනිමින් එම කටයුතු ක්‍රියාවට නැංවීමට තමන් උත්සාහ දරන බවත් අමාත්‍යවරයා තවදුරටත් කරුණු දක්වමින් සඳහන් කළේ ය.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT