හෝමාගම අධ්‍යාපන කලාපයේ මලගල මහා විද්‍යාලයේ වසර ගණනාවක් පැරණි දේශන ශාලා ගොඩනැඟිල්ල අනතුරුදායක තත්ත්වයෙන් පවතින බව මවුපියෝ පවසති. කොළඹ දිස්ත්‍රික්කයේ, හෝමාගම අධ්‍යාපන කලාපයේ අවසන් කෙළවරේ පිහිටා ඇති මෙම විදුහලේ සිසුන් 200ක් පමණ අධ්‍යාපනය ලබයි. පාසලට ගොඩනැඟිලි සමූහයක් ඇතත්, මේ වන විට අබලන්ව, බිත්ති පුපුරා, වහලය දිරාපත්ව පවතින එම ගොඩනැඟිල්ල තුළ නර්තන අංශයේ සහ සංගීත අංශයේ පන්ති පවත්වාගෙන යනු ලබන බව ඔවුහු පවසති. මෙම විද්‍යාලය මහා විද්‍යාලයක් වුවත්, විදුහලේ දියුණුව වෙනුවෙන් කිසිදු අනුබද්ධ පාසලක් නොමැති වීම නිසා, හුදකලා පාසලක් බවට පත්ව, මලගල අවට ග්‍රාමීය ප්‍රදේශවල මවුපියන්ගේ දරුවන් පමණක් මෙම විදුහලේ ඉගෙනුම ලබන බව පැවසේ.
මේ සම්බන්ධයෙන් පාදුක්ක, මලගල, යටවතුර, ප්‍රදේශයේ පදිංචි ආර්. ඒ. සිරිල් ශාන්ත මහතා මෙසේ පැවසීය.
පසුගිය දිනක කොළඹ දිස්ත්‍රික්කයේ පාසලක අනාරක්ෂිත ඉදිකිරීමක් නිසා, දරුවෙකු මියගොස් තවත් දරුවන් කිහිප දෙනෙකු තුවාල ලැබුවා. එවැනි තත්ත්වයක් මත මලගල මහා විද්‍යාලයේ ඇති මෙම අබලන්ව පවතින ආනාරක්ෂික ගොඩනැඟිල්ල තුළ සමහර අවස්ථාවලදී පන්ති පැවැත්වීම සිදු කරනවා.
මෙම පාසලට කිසිදු අනුබද්ධ පාසලක් නොමැතිවීම නිසා සම්පත් සමූහයක් ඇති පාසලට ඉතාමත් සීමිත දරුවන් පිරිසක් පැමිණෙනවා.
විදුහල් ක්‍රීඩා පිටියත් වල් බිහිවී තිබෙනවා. මෙවැනි තත්ත්වයක් මත විදුහලේ සම්පත් රැකගැනීම සඳහා, දැඩි අපහසුතාවකට මවුපියන් පත්ව තිබෙනවා.
දිවයිනේ හුදකලා යැයි හඳුනාගත් සමහර පාසල්වල දරුවන්ට විවිධ පහසුකම් ලබා දෙන බව දැන ගැනීමට ලැබී තිබෙනවා. ඇත්තටම මෙම පාසලත් කිසිදු පාසලකින් දරුවන් නොපැමිණෙන හුදකලා පාසලක් වී තිබුණත්, දැඩි දුෂ්කරතා හමුවේ පාසලට පැමිණෙන දරුවන්ට එවැනි කිසිදු වරප්‍රසාදයක් හිමි වන්නේ නැහැ. මෙවැනි තත්ත්වයක් මත ඒ සම්බන්ධයෙන්ද වගකිව යුතු අංශවල අවධානය යොමු කරමින්, දරුවන්ගේ ආරක්ෂාව පතා මෙම අනාරක්ෂිත ගොඩනැඟිල්ල කෙරෙහි වගකිව යුතු අංශවල අවධානය යොමු කළ යුතු යැයි ඒ මහතා පැවසීය. මේ සම්බන්ධයෙන් විදුහල්පති ඒ.ජී. තිලිනි ආර්. ගුණසේකර මහත්මියගෙන් විමසීමේදී, ඇය මේ සම්බන්ධයෙන් අදාළ සියලුම අංශ දැනුවත් කර ඇති බව විදුහල්පතිවරිය පැවසීය.