Home » රෝහලට ගෙන යන විටත් බිලිඳා මැරිලා

රෝහලට ගෙන යන විටත් බිලිඳා මැරිලා

by mahesh
November 24, 2023 1:00 am 0 comment

කොට්ටාව - ප්‍රදීප් කුමාර පනාගොඩ - ඇන්ටන් ප්‍රනාන්දු

මාසයයි සති තුනක් වයසැති බිලිදෙකුට හදිසියේ ඇති වූ අසාත්මිකතාවක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා තලවතුගොඩ පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමට යාමේ දී මිය ගොස් ඇති බව මිරිහාන මූලස්ථාන පොලීසිය පවසයි. මෙසේ මිය ගොස් ඇත්තේ මිරිහාන බැද්දගාන දකුණ නො 71 හි පදිංචි කොඩිතුවක්කු කංකානම්ගේ චයන් අක්ශාත් නමැති මාස 01 දින 21 වයසැති බිලිඳකු බව පොලීසිය කියයි.

මෙම බිලිඳා නිවෙසේ සිටියදී එක්වරම සිරුරේ පැහැය වෙනස් වී අසාත්මිකතාවයක් ඇති වීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා තලවතුගොඩ ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට රැගෙන ගොස් ඇති අතර එහි දී වෛද්‍යවරුන් පවසා ඇත්තේ බිලිදා මියගොස් ඇති බවයි.

පසුව තලංගම හදිසි මරණ පරීක්ෂිකා සාම විනිසුරු ප්‍රේමලතා අබේවර්ධන මහත්මිය බිලිඳු මළ සිරුර තැන්පත් කර තිබූ රෝහලට ගොස් ස්ථානීය පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා බිලිදු මළ සිරුර කොළඹ පොලිස් මෘත ශරීරාගාරයට රැගෙන යන ලෙස පොලීසියට නියෝග කළාය.

ඒ අනුව කොළඹ ජාතික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී බී.ඇම්.ඩබ්ලිව්. කුමාර මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කොට බිලිදු සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂක පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ.

ඉදිරිපත් වූ සාක්ෂි සහ පශ්චාත් මරණ පරීක්ෂණ වෛද්‍ය වාර්තාවට අනුව බිලිඳාගේ මරණයට හේතුව නොදක්වා විවෘත තීන්දුවක් ලබාදීමට හදිසි මරණ පරීක්ෂිකා සාමවිනිසුරු ප්‍රේමලතා අබේවර්ධන මහත්මිය නිගමනය කළාය. මෙම බිලිදා ගේ හිසෙහි වට ප්‍රමාණය උපතින්ම කුඩාවට පිහිටා තිබී ඇති බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන පොලීසියේ පො.කො (47340) බණ්ඩාර නිලධාරිහු පරීක්ෂණ මෙහෙයවූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT