රටට ලාභදායී විදුලි බලාගාර පෞද්ගලීකරණය කිරීමට ආණ්ඩුව කටයුතු කරන්නේ නම් ඊට එකඟ නොවන බව සමඟි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලීන් බණ්ඩාර ජයමහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24) පැවසීය.
අය වැය තෙවැනිවර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ තෙවැනි දින විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.
මන්ත්‍රීවරයා මෙසේද පැවසුවේය.
වික්ටෝරියා, රන්ටැඹේ යනාදි රටට රත්තරන් වටිනා බලාගාර විකුණන්න කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව ජනතාව පෙළගැසෙනවා.
අපේ රටේ බලශක්තියට ආරක්ෂාව ලැබෙන පරිදි ඉදිරියේදී නීති සම්පාදනය කළ යුතුයි. මෙරටට විශාල ලෙස බලශක්තිය හරහා ඩොලර් විශාල ප්‍රමාණයක් උපයා ගත හැකියි. ඒ සඳහා අවශ්‍ය අණපනත් සකස් කර ගත යුතුයි. ඉන්දියාවත් සමඟ අපට වාසි වෙන විදියට බලශක්තිය නිපදවීමේ තීරණ ගත යුතුයි. ඉන්දියාවේ හිතූ හිතූ සමාගම්වලට මෙරට ආයෝජනයට ඉඩ නොදී රටට වාසි වෙන විදියට ව්‍යාපෘති ආරම්භ කළ යුතුයි. අපේ රටෙන් ආයෝජකයන් එළියට ගිහිං තිබෙනවා. ජාතික බලශක්ති ප්‍රතිපත්ති සකස් කිරීමේදී පක්ෂග්‍රාහී නොවිය යුතුයි.
නොරොච්චෝලේ වහන විට ඩීසල් මාෆියාව ක්‍රියාත්මක වී අත යට ගනුදෙනු සිදුවෙනවා. ජල විදුලිය අහිමි වෙනකොට ඩීසල් මාෆියාව හිස ඔසවනවා. ජල විදුලි බලාගාරවල සියලු වියදම් ආවරණය කර දැන් ලාභ ලබමින් සිටින බව විදුලිබල ඇමැතිවරයා කියනවා. ඇමැති පෞද්ගලීකරණයට විරුද්ධ නැති නමුත් රටට ආදායමක් උපයන ජල විදුලි බලාගාර විකුණන්නට යමෙක් උත්සාහ කරනවා නම් ඒක අනුමත කරන්න බැහැ.
කඩිනම් මහවැලි ව්‍යාපෘතිය අපි කළා. පෞද්ගලීකරණයට අපි විරුද්ධ නැහැ. රටට ලාභදායී විදුලි බලාගාර පෞද්ගලීකරණය කරනවාට විරුද්ධයි.