කුඩු සහ පාතාලය මර්දනයට පියවර ගෙන තිබෙනවා
– මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස්
අරගලය පැවතීම පාතාලය වැඩි වීමට ප්‍රධාන හේතුවක් ලෙස සඳහන් කළ හැකි බවත් වසරක පමණ කාලයක් පොලිසිය හා හමුදාව අරගලය වෙනුවෙන් යෙදවීම හැර වෙනත් කිසිදු කාර්යයක් වෙනුවෙන් යෙදවීමට නොහැකි වූ බවත් මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23) ප්‍රකාශ කළේය.
2024 අය වැය කාරක සභා අවස්ථාවේ ඊයේ (23දා) පැවති ආරක්ෂක අමාත්‍යාංශයේ සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයේදී අදහස් පළ කරමින් ඇමැතිවරයා මේ බව පැවසීය.
තවදුරටත් ඇමැතිවරයා මෙසේද පැවසීය.
එම වකවානුව තුළ පාතාල ක්‍රියාකාරකම් වැඩි වුණා. කුඩු ව්‍යාපාරයද ව්‍යාප්ත වුණා. කෙසේ වුව ද මේ වනවිට පාතාලය මර්දනය සඳහා අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. එමෙන්ම මේ වනවිට පොලිස් සේවය තුළ විසිදහසක හිඟයක් තිබෙනවා.
කෙසේ වෙතත් මෙම ප්‍රමාණය එකවර පිරවිය නොහැකියි. කඩින් කඩ සිදු කරන බඳවාගැනීමේදී 2023 වසරේදී 2,000ක් බඳවා ගත් අතර, 2024 වසරේදී තවත් 5,000ක් බඳවා ගන්නවා.
මේ අතර, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වන විමර්ශන 90%ක් පමණ අවසන්.
මහාධිකරණයේ විත්තිකරුවන් 80ක් සඳහා නඩු 42ක් ගොනුකර ඇති අතර, ඉන් 23 දෙනෙකු තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටිනවා.
එක කථිකයෙක් ප්‍රකාශ කළා අපි මර්දනය කරනවා, පෙළපාළිවලට ගහනවා, කාටවත් එළියට බහින්න දෙන්නේ නැහැ කියලා. සියලු දෙනාට මතක ඇති ගිය වසරේ මැයි සිද්ධ වෙච්ච දේවල්. ජනාධිපති මාරු වුණා. එදා අපිට තීරණයක් ගන්න සිද්ධ වුණා. මේ වගේ තත්ත්වයක් ඉදිරියටත් තියෙනවද වෙනස් කරනවද කියලා මම ඇමැතිවරයා හැටියට ජනාධිපතිත් එක්ක කතා කරලා පළමු පියවර ලෙස අපි ගෝඨා ගෝ ගම අයින් කරන්න තීරණය කළා. එතැන් සිට අපි සියලු ප්‍රශ්න බොහොම ක්‍රමානුකූලව විසඳුවා. කොළඹට විදේශිකයකුට පවා එන්න බැරි තත්ත්වයක් තිබුණා. අපි සාමකාමී තත්ත්වයක් නිර්මාණය කළා. ජනාධිපති මන්දිරයට ජනාධිපති කාර්යාලයට අරලියගහ මන්දිරයට මිනිස්සු ඇතුළුවෙලා බඩු කඩල දමන තත්ත්වයක් තිබුණේ. එවැනි තත්ත්වයක් එක්ක මට පොලිසිය භාර ඇමැති ලෙස තීරණය කරන්න වුණා. උද්ඝෝෂණවලට කොච්චර දුරට ඉඩ දෙනවද කියලා. සියලු දෙනාට කිවුවා එක තැනකට ඇවිල්ලා එක උද්ඝෝෂණයක් කරනවා නම් අපිට ප්‍රශ්නයක් නැහැ කියලා. රජයේ දේපළ විනාශ කරන්න ගියොත් ඒවා අපිට හොඳින් හෝ නරකින් විසඳන්න වෙනවා. ඒ ක්‍රියාමාර්ග දිගටම ගත්තා. අදත් සමහර සාමකාමී වැඩවලට අපි ඉඩ දෙනවා. අපි කියනවා එක තැනක උද්ඝෝෂණය කරන්න කියලා. නමුත් අපිට විටින් විට තීන්දු ගන්න වෙනවා, එදා දවසේ හැටියට අපි ගන්න ක්‍රියාමාර්ගයන් මොකක්ද කියලා. ඒ වගේම පොලිස් නිලධාරීන්ගේ උසස්වීම් ගැන කතා කළා. අපි මේ අවුරුද්ද තුළ පොලිස් නිලධාරීන්ට කරන්න පුළුවන් උපරිමයෙන් කරලා තියෙනවා.
අපේ ආර්ථික තත්වයත් එක්ක පොලිස් නිලධාරීන්ගේ දීමනා අපි ජනවාරි මාසයේ වැඩි කළා. දැන් ජනාධිපතිතුමා එකඟවෙලා මේ අය වැයෙන් බටා එක සම්පූර්ණයෙන් නවත්තලා ආහාර හා නවාතැන් දීමනා දෙනවා. මේ අවුරුද්දේ සිට හමුදාවේ නිලධාරීන් ගණනට සරිලන ලෙසම අපි වැඩිකර තිබෙනවා. උසස්වීම් ගත්තොත් නව දහසකට වඩා අපි පසුගිය කාලයේ හිරව තිබූ උසස්වීම් දුන්නා. අනික් අතින් ගත්තොත් පොලිසිවලට වාහන තිබුණෙ නෑ. පොලිසියට ජීප් රථ පන්සියයක් දුන්නා. ගිය පාරට වඩා බටා එක දින 14 දින 21 දක්වා වැඩි කළා.
පොලිස් නිලධාරීන්ට උපරිමය කළා. වාහන දුන්නා. හැම එකක්ම උසස්වීම් ක්‍රමවේදයකට කරගෙන යන්නයි අපි බලන්නේ. ස්ථානාධිපතිවරු පත් කරන්නෙත් යම් සම්මුඛ පරීක්ෂණ සමඟ ක්‍රමවේදයට. අඩුපාඩු හදාගෙන ඉදිරියට යනවා.
පොලිස් සේවයේ විසිදහසකට වැඩි ඇබෑර්තු තියෙනවා. නමුත් ඒ ඇබෑර්තු සියල්ල එකවර පුරවන්න බෑ. මේ වසරේ දෙදහක් බඳවා ගත්තා. එන වසරේ පන්දහසක් ගන්නවා. ඒ විදියට ක්‍රමානුකූලව වැඩ කරගෙන යනවා. ඒ වගේම පාතාල ක්‍රියාකාරකම් ගැන මේ සභාවේ ගොඩක් දේවල් කියවුණා. පාතාලයේ ක්‍රියාකාරකම් වැඩි වීමට එක හේතුවක් ලෙස මම කියනවා මේ අරගලය. අවුරුද්දක් විතර මේ අරගලයට පොලිසියත් හමුදාවත් යෙදෙව්වා හැර වෙන කිසි දේකට වැඩක් කරන්න ඔවුන්ට වේලාවක් නෑ. ඒ අතර සියලුම පාතාල ක්‍රියාකාරකම් කුඩු වැඩිවීම සියලු දේ ඒ කාලයේ වුණා. නමුත් අපි ක්‍රමක්‍රමයෙන් ඒක මර්දනය කරන්න වැඩපිළිවෙළ යොදාගෙන යනවා.