අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් මඟින් විදේශගත වීමට තැත් කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව ගොනු කර තිබූ නඩුව 23 වැනි දින විභාගයට ගත් අවස්ථාවේ සංශෝධිත චෝදනා පත්‍රයක් සමඟ මෙම නඩුව නැවත විභාගයට ගන්නා බව මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් අමිල රත්නායක මහතා සඳහන් කළේය.
මෙහිදී මහේස්ත්‍රාත් අමිල රත්නායක මහතා වැඩිදුරටත් පැවසුවේ මහේස්ත්‍රාත් අධිකරණයකට තිබෙන නීතිමය ප්‍රතිපාදන අනුව මෙම චෝදනා පත්‍රය සකස් කළ බවය. විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා අධිකරණය අමතමින් පැවසුවේ මේ මොහොතේ නව සංශෝධිත චෝදනා පත්‍රය කියවීම තුළ ඒ පිළිබඳව තම සේවා දායකයා දැනුවත්කමක් නොලබා ඇති බැවින් ඔහුට ඒ සම්බන්ධව පිළිතුරක් දීමට නොහැකි බවය. එබැවින් මෙම චෝදනා පත්‍රය විත්තියේ නීතිඥවරයා වශයෙන් මා අධ්‍යනය කළ පසු ඉදිරි නඩු දිනයේදී මෙය ප්‍රකාශයට පත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව නව සංශෝධිත චෝදනා පත්‍රය ඉදිරිපත් කිරීමෙන් පසු 2024 පෙබරවාරි 8 වැනි දිනට නඩුව විභාගයට ගැනීමට අධිකරණය තීරණය කළේය. විත්තිය වෙනුවෙන් සජීව මීගහවත්ත, තිළිණ පෙරේරා, විනෙස්කා මෙන්ඩිස් යන නීතිඥ මහත්ම මහත්මීන් සමඟ ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා පෙනී සිටියේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහි මූලික පැමිණිල්ල ගොනු කර තිබුණි.