Home » අනුරපුර පොලිසියේ අපරාධ විමර්ශන IPට ඇප
ව්‍යාපාරිකයකු පැහැරගෙන රන්-මුදල් කොල්ලකෑම

අනුරපුර පොලිසියේ අපරාධ විමර්ශන IPට ඇප

by mahesh
November 24, 2023 1:00 am 0 comment

ගයාන් කුමාර වීරසිංහ

අනුරාධපුරයේ සිටින ප්‍රසිද්ධ මරංචි ජාවාරම්කරුවකු සමඟ එක්ව මැදිරිගිරියේ පදිංචි ව්‍යාපාරිකයකු පැහැරගෙන ගොස් සිරකර පහර දී රුපියල් ලක්ෂ 25කට අධික මුදල් හා රන් භාණ්ඩ කොල්ලකෑමකට සම්බන්ධ බව කියන අනුරාධපුර පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ හිටපු ස්ථානාධිපතිවරයකු වන පොලිස් පරීක්ෂකවරයකු පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් පෙරේදා (22) අත්අඩංගුවට ගෙන තිබිණ.

මෙම පොලිස් පරීක්ෂකවරයාව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැර තිබේ.

දේශපාලන මෙන්ම පොලිසියේ නිලධාරීන් සමඟ ඉතා කිට්ටු සම්බන්ධකම් පවත්වන අනුරාධපුරයේ පදිංචි මරංචි ජාවාරම්කරුවකු විසින් මෙම පොලිස් පරීක්ෂකවරයාගේ සහාය ද ඇතිව ව්‍යාපාරිකයාව පැහැරගෙන ඇත්තේ පසුගිය සැප්තැම්බර් 15 වැනිදාය.

ව්‍යාපාරිකයා ඔහුට අයත් ඩබල් කැබ් රථයකින් එදින පෙරවරුවේ ටයිල් මිල දී ගැනීමට මැදිරිගිරියේ සිට අනුරාධපුරයට පැමිණ ඇති බව කියැවේ. ඒ පැමිණි ඔහුට මරංචි ජාවාරම්කරු මුණගැසී ඔහුත් තවත් හිතවතුන් දෙදෙනකුත් සමඟ අනුරාධපුරයේ පිහිටි හෝටලයකට ගොස් මත්පැන් පානය කර ඇති බව කියැවේ. ව්‍යාපාරිකයාව පැහැරගෙන ඇත්තේ මත්පැන් පානය කිරීමෙන් අනතුරුවය.

ව්‍යාපාරිකයාව පැහැරගෙන ගොස් සිර කර ඇත්තේ මරංචි ජාවාරම්කරුගේ නිවෙසේය. ව්‍යාපාරිකයා සතුව ඇතැයි කියනු ලබන පෞරාණික පිළිමයක් ගැන විමසමින් ඔහුට පහරදී ඇති බවද කියැවේ. එහිදී ඔහු සතුව තිබුණු රුපියල් ලක්ෂ 03ක මුදලක් ද ජංගම දුරකතන 02ක් ද අතේ කරේ තිබුණු රන් භාණ්ඩ ද කොල්ලකා තිබේ. මුදල් හා රන් භාණ්ඩවල වටිනාකම රුපියල් විසිපන් ලක්ෂ දසදහසක් වන බව සඳහන්ය.

අනතුරුව මෙම මරංචි ජාවාරම්කරු පොලිස් පරීක්ෂකවරයාව ද කැඳවා ව්‍යාපාරිකයාගේ කැබ් රථයේ ඔහුවත් නංවාගෙන අනුරාධපුරයේ සිට ගමන් කර ඇත්තේ මැදිරිගිරියටය. ඒ පිළිමය සොයාය. එහිදී පොලිස් පරීක්ෂකවරයා සිට ඇත්තේ සිවිල් ඇඳුමින් සැරසී බව ව්‍යාපාරිකයා සඳහන් කරයි. කැබ් රථය මෙහිදී පදවා ඇත්තේ ව්‍යාපාරිකයා විසිනි. මැදිරිගිරිය බලා යන අතරතුර හබරණ පොලිසිය අසලදී ව්‍යාපාරිකයා එක්වරම කැබ් රථය පොලිස් ස්ථානයට ඇතුළු කර තමාව පැහැරගෙන යන බව පොලිස් නිලධාරීන් හමුවේ පවසා ඇති බව සඳහන්ය. එම අවස්ථාවේදී පොලිස් පරීක්ෂකයා සහ මරංචි ජාවාරම්කරු කැබ් රථයෙන් බැස පලාගොස් තිබේ.

මේ සම්බන්ධයෙන් හබරණ පොලිසියට ව්‍යාපාරිකයා පැමිණිලි කිරීමට සූදානම් වුවත් පැහැර ගැනීම හා කොල්ලකෑම සිදුව ඇත්තේ අනුරාධපුරයේ වූ බැවින් පැමිණිල්ල භාර ගැනීමට නොහැකි බව දැනුම් දෙමින් ඔහුට උපදෙස් දී ඇත්තේ අනුරාධපුරයට යන ලෙසය. ඒ අනුව ව්‍යාපාරිකයා අනුරාධපුර පොලිසියට ගොස් මේ ගැන පැමිණිල්ලක් කර ඇත. මරංචි ජාවාරම්කරුට හා පොලිස් පරීක්ෂකවරයාට පොලිසිය තුළ ඇති සම්බන්ධකම් හේතුවෙන් අදාළ පැමිණිල්ල අපරාධයක් ලෙස සටහන් කර නොගෙන ගොඩින් බේරා ගැනීමට පියවර ගෙන ඇති බව සඳහන්ය.

මේ ගැන උතුරු මැදි පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රජිත ශ්‍රී දමින්ද මහතාට තොරතුරු ලැබී බුද්ධි අංශයේ නිලධාරීන් යොදවා ඒ ගැන විමර්ශනයක් ද ආරම්භ කර ඇත. ඒ අතර පැහැර ගැනීමට ලක් වූ ව්‍යාපාරිකයා මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් අනුරාධපුර නියෝජ්‍ය පොලිස්පතිවරයාට කර ඇත්තේ අනුරාධපුර පොලිසියෙන් සාධාරණයක් නොවූ බැවිනි. ඒ සැප්තැම්බර් 22 වැනිදාය. අනුරාධපුර නියෝජ්‍ය පොලිස්පතිවරයා එම පැමිණිල්ල සම්බන්ධයෙන් උතුරු මැද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දැනුම්වත් කිරීමට පියවර ගැනීමත් සමඟ ඔහු නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් දී ඇත්තේ පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් ඒ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ලෙසය.

ඒ අනුව දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සුදුපුතා නමැති මරංචි ජාවාරම්කරු ඇතුළු කිහිප දෙනකු අත්අඩංගුවට ගෙන ඇත. එහෙත් පොලිස් පරීක්ෂකවරයාව අත්අඩංගුවට ගැනීම දිනෙන් දින ප්‍රමාද වී තිබේ. පොලිස් නිලධාරියා මෙම අපරාධ චෝදනාවෙන් ගලවා ගැනීමට පොලිසියට බලපෑම් විවිධ පුද්ගලයන්ගෙන් එල්ල වී තිබී ඇත. පොලිස් නිලධාරියාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවට පොලිස් බලධාරීන් දැඩිව සිටීමේ ප්‍රතිඵලයක් ලෙස පෙරේදා (22) ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් පියවර ගෙන තිබේ. මෙම නිලධාරියාට එරෙහිව විනයානුකූල පියවර ගැනීමට කටයුතු කරන බවත් ඇතැම් විට ඔහු වැඩ තහනමට පවා ලක් වනු ඇති බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT