Home » අපි ගිහින් බලද්දී අක්කලා දෙන්නා පස්වලට යට වෙලා: රෝහලට අරන් ගියත් බේරාගන්න බැරිවෙලා
පස් කන්දක් කඩා වැටී තරුණියන් දෙදෙනකු මිය යෑම:

අපි ගිහින් බලද්දී අක්කලා දෙන්නා පස්වලට යට වෙලා: රෝහලට අරන් ගියත් බේරාගන්න බැරිවෙලා

සිද්ධිය වූ තැන සිටි නිශාන්තිනී කියයි

by mahesh
November 24, 2023 1:00 am 0 comment

හාලිඇළ සමූහ - ආර්.එම්. විජේරත්න, බදුල්ල - නිශාන්ත අබේගුණවර්ධන

“එදා හවස හතර හමාරට විතර මහා සද්දයක් ඇහුණා. අපි ගිහින් බලනකොට අක්කලා දෙන්නා ඒ අය හිටිය ඇඳත් එක්කම සම්පූර්ණයෙන්ම පස්වලට යටවෙලයි තිබුණේ. පස්සේ කට්ටිය ඇවිත් ඒ අය රෝහලට අරන් ගියා. ඒත් මෙහෙම දෙයක් වෙයි කියලානම් අපි හිතුවේ නෑ.“

පෙරේදා (22) සවස හාලිඇළ උඩුවර කැන්දගොල්ල පතනේ නිවෙසකට පස් කන්දක් කඩා වැටීමෙන් තරුණියන් දෙදෙනකු මියයෑම ගැන ප්‍රදේශයේ පදිංචි තරුණියක වන එම්. නිශාන්තිනී මෙණෙවිය පැවසුවාය.

කැන්දගොල්ල පතන, 7 කණුව, උඩුවර, හාලිඇළ ලිපිනයේ පදිංචිව සිටි විශ්වනාදන් දනූෂා (22) හා මධ්‍යම පන්තික නිවාස, හාලිඇළ ලිපිනයේ පදිංචිව සිටි අම්බලගම් කීර්තිනා (21) නම් තරුණියන් දෙදෙනා මෙසේ මියගොස් තිබිණි.

සිද්ධිය වන විට අදාළ නිවසේ වැඩිහිටියන් වැලිමඩ ප්‍රදේශයේ මළගෙදරකට සහභාගිවීමට ගොස් සිට ඇතැයිද නිවසේ සිටි තරුණියගේ තනියට හාලිඇළ මධ්‍යම පන්තික නිවාස සංකීර්ණයේ කුලී නිවසක පදිංචිව සිටි ඇගේ ඥාති සොහොයුරියක වන කීර්තිනා ඒ නිවසට ගොස් සිටි බව පැවසේ.

මේ නායයෑමේ සිද්ධියෙන් පසු අවට පිරිස් සමඟ සිද්ධිය වූ ස්ථානයට ගිය නිශාන්තිනී මෙසේද පැවසුවාය.

“එදා දවල් ඉඳන්ම වැස්ස. හවස වැස්ස වැඩිවුණා. දනූෂා අක්කලා ගෙදර අනික් අය ඒ වෙලාවේ හිටියෙ නෑ. අක්කලා දෙන්න විතරයි ගෙදර හිටියේ. අපි යනකොට ගේ පිටිපස්සෙ වේල්ල කඩාවැටිලා මහ පස් කන්දක් බිත්තියත් කඩාගෙන ගේ ඇතුළට ගිහින් තිබුණා.“

සිද්ධිය වූ නිවෙසට ඉහළින් පිහිටි නිවසක පදිංචි එල්.ජී. කුසලාවතී මහත්මිය මෙසේ පැවසුවාය.

“මේ දවස් ටිකේම හොඳටම වැස්ස නිසා මේ අවට ගෙවල් කීපයකටම මෙහෙම වේලි කඩා වැටුණා. ඒත් වැස්ස සද්දෙ නිසා සිද්ධිය වෙනකොට හරියට ඇහුණේ නෑ. අපිත් ගියේ අවට අය කෑගහන සද්දෙට. මේ අයගේ නෑදෑ වෙන ළමයකුත් ඒ ගෙදරට ඇවිත් ඉඳලා තියෙනවා. මේ ළමයි දෙන්නාම ඉඳල තියෙන්නේ වේල්ල පැත්තටම තිබුණු ගෙයි පිටිපස්සේ කාමරේක. ගෙදර වැඩිහිටියන් මේ වෙලාවේ හිටියනම් ගෙදරට හානි වුණත් ළමයි දෙන්නගේ ජීවිත බේරාගන්න තිබුණා.“

එහිදී ප්‍රදේශවාසියකු වන රුවයිස්ඩීන් මහතා මෙසේ සඳහන් කළේය.

“එදා හවසත් වෙනදා වගේම මහ වැස්ස. හවස හතර හමාරට පහට විතර සද්දයක් ඇහුණා. ටික වෙලාවකට පස්සේ මේ මියගිය දුවකුගේ අම්මා ඇවිත් කෑගහමින් අපට කතා කළා. අපේ ගෙදරට වේල්ල ඇවිල්ලා. දුලා දෙන්නා ගේ ඇතුළේ. කියලා කෑගැහුවා. අපි ගිහින් බලනකොට ළමයි දෙන්නාම පස්වලට යටවෙලා. හාලිඇළ පොලිසියේ නිලධාරිනුත් ආවා. අපි පස් අයින් කර ළමයි දෙන්නා ගොඩගත්තා. ඉක්මනින් බදුල්ල මහ රෝහලට අරන් ගියත් ඒ වෙනකොටත් ළමයි දෙන්නා මිය ගිහින් හිටියේ.“ මියගිය තරුණියන්ගේ දේහයන් ඊයේ (23) දහවල් වනතුරුත් බදුල්ල මහ රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබුණි. දේහයන් පිළිබඳ අවසන් කටයුතු හාලිඇළ මධ්‍යම පන්තික නිවාස ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිට මියගිය තරුණියගේ පියාගේ ගම වන පස්සර මීදුම්පිටිය ප්‍රදේශයේදී සිදුකිරීමට නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT