Home » ක්‍රිකට් නඩුව යළි අදට කල් යයි

ක්‍රිකට් නඩුව යළි අදට කල් යයි

by mahesh
November 24, 2023 1:00 am 0 comment

නෙල්කා මැදගෙදර

රටින් එන මුදල් ගැන ක්‍රිකට් ආයතනය රජයට වගවිය යුතුයි
– අතිරේක සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙරට නියෝජනය කිරීම සඳහා ක්‍රීඩා පනත යටතේ ලියාපදිංචි කළ ජාතික ආයතනයක් වන අතර ඊට ජාතිකව සහ ජාත්‍යන්තරව ලැබෙන මුදල් සම්බන්ධයෙන් එම ආයතනය සතුව රජයට වගවීමක් ඇති බවද, තමන්ට කැමති ආකාරයට එම මුදල් වැය කිරීමට ක්‍රිකට් බලධාරීන්ට නොහැකි බව ද අතිරේක සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා ඊයේ (23) අභියාචනාධිකරණයේදී සඳහන් කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවා එහි කටයුතු මෙහෙයවීම සඳහා ක්‍රිකට් අතුරුපාලක කමිටුවක් පත් කරමින් ක්‍රීඩා ඇමැතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සම කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකාර ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මේ බව කීය.

සෝභිත රාජකරුණා සහ ඩී.එන්. සමරකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම වැඩිදුර කරුණු සලකා බැලීම සඳහා කැඳවනු ලැබිණි.

එහිදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා සඳහන් කළේ වගඋත්තරකාර ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා ඉදිරිපත් කර ඇති දිවුරුම් ප්‍රකාශයක් සම්බන්ධයෙන් නීතිමය ගැටලුවක් පවතින බවය.

පෙත්සමේ වගඋත්තරකාර ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා සඳහන් කළේ අදාළ දිවුරුම් ප්‍රකාශය අත්සන් කළ කාන්තාව ක්‍රීඩා අමාත්‍යාංශයේ සේවකයකු නොවන බවය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ, වංචා, අක්‍රමිකතා සම්බන්ධයෙන් විගණනයක් සිදු කිරීම සම්බන්ධයෙන් වගඋත්තරකරුවන් හෝ ඔවුන්ගේ නියෝජිතයන් ඔහුට කිසිදු දැනුම් දීමක් නොකළ බවට පෙත්සම්කරු විසින් අධිකරණයට අසත්‍ය කරුණු ඉදිරිපත් කර ඇති බව ඒ මහතා කීය. අදාළ විගණන වාර්තාවේ කෙටුම්පතක් ඉකුත් මැයි මාසේදී නිකුත් කර ඇති බව ඒ මහතා කීය. එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස වගඋත්තරකරුවන්ට දින පනහක කාලයක් ලබා දුන් බව ඒ මහතා කීය.

විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් කරන අවස්ථාවක අදාළ චෝදනා සම්බන්ධයෙන් දින දාහතරකදී කරුණු ඉදිරිපත් කළ යුතු වුව ද ක්‍රිකට් බලධාරීන් අවස්ථා කිහිපයකදීම ඒ සඳහා කල් ලබා ගත් බව ද ඔවුන්ට අතිරේක දින තිස්හයක කාලයක් ලබා දුන් බව ඒ මහතා කීය. ඒ අනුව චෝදනා සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට තමන්ට අවස්ථාව නොදුන් බවට පෙත්සම්කරු ඉදිරිපත් කරන චෝදනාව පිළිගත නොහැකි බව ඒ මහතා කීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලංකාව නියෝජනය කිරීම සඳහා ක්‍රීඩා පනත යටතේ ලියාපදිංචි කළ ආයතනයක්. එය රට නියෝජනය කිරීම සඳහා පවතින්නේ. අන්තර් ජාතිකව ක්‍රිකට් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළ හැකි එකම ආයතනය එයයි. ඊට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ඊට මුදල් ලබා දෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහායි. එම මුදල් වැය කිරීම සම්බන්ධයෙන් රජයට වගවීමක් එම ආයතනයට තිබෙනවා. එහි අක්‍රමිකතා තිබෙනවා නම් ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට විගණකාධිපතිවරයාට හැකියාව තිබෙනවා. එම මුදල් තමන්ට හිතූ හිතූ පරිදි වැය කිරීමට ක්‍රිකට් බලධාරීන්ට හැකියාවක් නෑ යනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා එහිදි සඳහන් කළේය.

එහි ලියාපදිංචිය අත්හිටුවූ විට ඊට රට නියෝජනය කළ නොහැකි බව ද එම ලියාපදිංවිය අඛණ්ඩව පවත්වාගෙන යාමට නම් එම ආයතනයට ලැබෙන මුදල් වියදම් කරන ආකාරය විනිවිදභාවයකින් විය යුතු බව ඒ මහතා කීය.

විගණකාධිපතිවරයා ඉල්ලා සිටින අවස්ථාවක අවශ්‍ය ලේඛන ලබා දීමට අපොහොසත් වන්නේ නම් හෝ ප්‍රතික්ෂේප කරන්නේ නම් එය වරදක් බව ඒ මහතා කීය. ඒ සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගත හැකි බව ද ඒ මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් එහි විධායක කමිටුව වගකිව යුතු බවත් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගත යුතු බවත් අදාළ විගණන වාර්තාව මඟින් නිර්දේශ කර ඇති බව ඒ මහතා කීය.

මෙම පෙත්සම සමඟ විගණකාධිපති වාර්තාව ඉදිරිපත් කළත් එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් ඔවුන් ඉදිරිපත් කළ පිටු දෙසියයකට අධික පිළිතුර සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වසන් කර අදාළ අතුරු තහනම් නියෝගයක් ලබා ගැනීමට පෙත්සම්කරු කටයුතු කළ බව ද ඒ මහතා කීය.

අදාළ චෝදනා සම්බන්ධයෙන් කරුණු දැක්වීමට තමන්ට අවස්ථාව නොදුන් බව පෙන්වා අධිකරණය නොමඟ යැවීමට පෙත්සම්කරු කටයුතු කර ඇති බව ද එය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව ද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.

කරුණු සැඟවීම මතම මෙම පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට හැකි බව ඒ මහතා කීය.

මෙම විගණන වාර්තා දෙක කුමන හෝ ආකාරයකින් අභියෝගයට ලක් කිරීමට පෙත්සම්කාර පාර්ශ්වය මේවන තෙක් කටයුතු කර නැති බව ද ඔහු පෙන්වා දුන්නේය. එයට අභියෝග කිරීමේ හැකියාවක් නොමැති නිසා වක්‍රව සහන ලබා ගැනීමට අදාළ ගැසට් නිවේදනයට එරෙහිව මෙම පෙත්සම ගොනු කර ඇති බවට ඔහු චෝදනා කළේය. අදාළ විගණන වාර්තාව මත ඉදිරි පියවර ගැනීම වැළැක්වීමේ යටි අරමුණින් මෙම පෙත්සම ඉදිරිපත් කළ බව ඒ මහතා කීය.

කරුණු වසන් කිරීම, අසත්‍ය කරුණු ඉදිරිපත් කිරීම යන කරුණු සැලකිල්ලට ගෙන මෙම පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

පෙත්සම සම්බන්ධයෙන් වැඩිදුර කරුණු සලකා බැලීම අද (24)ට කල් තැබිණි.

ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ, එම අමාත්‍යාංශ ලේකම්වරයා, නව අතුරු කමිටු සාමාජිකයන් වන විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්.අයි. ඉමාම්, රෝහිණී මාරසිංහ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා, හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග, එච්.කේ. උපාලි ධර්මදාස, නීතිඥ රඛිත නිර්මල රාජපක්ෂ, එම්.එච්. ජමාල්ඩීන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහි වගඋත්තරකරුවෝ වෙති.

නීතිඥ සංජය ෆොන්සේකා මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටියේය.

නීතිඥ ජී.ජී. අරුල්ප්‍රගාසම් මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා ක්‍රීඩා ඇමැතිවරයා වෙනුවෙන් ද අතිරේක සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා, අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අතුරු පාලක කමිටුව වෙනුවෙන් ද පෙනී සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT