(රත්මලාන මල්ලිකාරාම මහා විහාරය, වැල්ලවත්ත ශ්‍රී විජයාරාමය යන උභය විහාරාධිපති, අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකායේ බස්නාහිර පළාතේ උප ප්‍රධාන සංඝනායක, එම නිකායේ සම ලේඛකාධිකාරී, රණස්ගල්ලේ ඤාණවීර නායක මාහිමියන්ගේ 65 වැනි ජන්ම දිනය නිමිත්තෙනි.)
කරුණා දයා දියෙන් සනහමින් සවන් පිනන මියුරු තෙපුලෙන් දම් රස බෙදන මල් අරමේ සුපුපි කුසුමෙකි. හෙළ පෙළ සකු බසත් සුතුරු දම් විනයත් මුසු කොට පිතු සෙනෙහෙන් සිසු පුතුන් තනන්නට සසුන් කිස පුරන්නට පණ පෙවූ සඟරුවනෙකි. එනම්, අමරපුර සිරි දම් රැකි මහ යති අඹරේ සුදිලෙන යතිවරයාණෝ රණස්ගල්ලේ ඤාණවීර නාහිමියෝය.
වයඹ පළාතේ කුරුණෑගල රාජධානියේ රණස්ගල්ල නම් මනරම් ගම් පියසේ විසූ ජයසිංහ ආරච්චිගේ ධීරසේකර පියාණන්ට සහ පීරිස්ගේ සෝමාවතී මෑණියන්ට පුතුන් පස්දෙනෙකු සහ එකම දියණියකි. වර්ෂ 1958 ඉල් මස 27 වැනි දින මොවුනට සුපින්බර දිනයක් වූවාට සැක නැත. එදින ජී.ඒ. සිරිවර්ධන නමින් මෙලොව එළිය දුටු පුත් කුමරාණෝ සසුන් වැඩ වැඩුමට උපන් පිනැතියෙකැයි කිසිවෙකු නොසිතන්නට ඇත.
පිරූ පෙරුම් දම් අනුහසින් පුත් කුමරුවන් වර්ෂ 1970 මැදින් මස 16 වැනි දින සිරි දම්රැකි මහ නකෙහි මහ නයුව වැඩ සිටි අග්ගමහා පණ්ඩිත මඩිහේ පඤ්ඤාසීහ නාහමියන් වෙත අලව්ව, වීදියවත්ත ගම් පියසේ දී මව්පියන් අතින් සසුනට පූජා කරන ලදින්, එදිනම රත්මලාන මල්ලිකාරාමය ඇතුළු විහාරගණයේ අධිපතිව වැඩ විසූ අග්ගමහා පණ්ඩිත වැලිගම ශ්‍රී ඤාණරතන මහ නාසමිඳුන් වෙත භාර කරන ලදින්, වර්ෂ 1970 වෙසක් මස 21 වැනි දින උක්ත නාහිමියන් වහන්සේලාගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් යුතුව මල් අරමේ දී උතුම් පැවිදි දිවියට පත් කෙරිණි.
ගුණෙන් නුවණින් වැඩෙමින් පිළිවෙත් සරු මහරු සඟරුවන් ඇසුරේ ශ්‍රී ධර්මරක්ෂිත ත්‍රිපිටක ධර්මායතන මූලික පිරිවෙනෙන් මූලික අධ්‍යාපන ලදින්, වර්ෂ 1978දී වැලිගම නැණරුවන් නාසමිඳාණන්ගේ ආචාර්යත්වයෙන් අධිසිල් සහිත උපසපන් දිවියට පත්විය.
පසුව තම උසස් අධ්‍යාපන වෙත සාවධාන වූයෙන්, අනුරාධපුර බුද්ධශ්‍රාවක ධර්මපීඨයෙන් ත්‍රිපිටකවේදී උපාධිය ද, ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගම විසින් පිරිනමනු ලබන රාජකීය පණ්ඩිත උපාධිය ද ලදින්, කැලණිය විශ්වවිද්‍යාලයෙන් ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය හා ශාස්ත්‍රපති උපාධිය ලත් මුන්වහන්සේ දිනෙන් දින ගුණෙන් නුවණින් වැඩෙන්න වූහ.
රත්මලාන මල්ලිකාරාම මහ වෙහෙර පෙරටුකොට ගනිමින් ලෝ සසුන් වැඩ වඩන්නට අදිටන් කරගත් නැණවිරු සමිඳාණෝ ශ්‍රී ධර්ම රක්ෂිත ත්‍රිපිටක ධර්මායතන මූලික පිරිවෙනේ ආචාර්යවරයෙකු ලෙසත්, සිරි වජිරඤාණ දහම් පාසලේ ප්‍රධානාචාර්යන් වහන්සේ ලෙසත් අමිල මෙහෙවරක යෙදිණි. දම් දෙසුමෙහි මනා සුරුකම් පෑ නාහිමියෝ ගුවන්විදුලිය හා රූපවාහිනිය තුළින් බොදුනුවන් සැදැහැයෙන් කුළුගන්වමින් දම් රස දසත විහිදුවා ලූහ. එමෙන්ම මල්ලිකාරාමස්ථ ගාමිණී තරුණ බෞද්ධ සංගමය, කාර්ය සාධක සමිතිය, විශාඛා කුලඟන සමිතිය හා එක්ව ගමත්, පන්සලත් එක්කොට විසල් ජාතික, ආගමික හා සාමාජීය සේවයක නිරත විය.
ඉන් නොනැවතුණු අප නාසමිඳාණෝ මල්ලිකාරාම සරණ පදනම පිහිටුවා පුරා 30 වසරක කාලයක් පැවති කුරිරු යුද්ධයෙන් දෙපා අහිමි වූ වීරෝදාර රණවිරුවන් වෙනුවෙන් කෘත්‍රිම පාද පිරිනමමින් පාද 1200ක පමණ ප්‍රමාණයක් ලබා දෙන්නට මුල්වුණි. ජාතිකත්වයෙන්, ස්වදේශ වාත්සල්‍යෙයන් ඔද වැඩී ගිය මුන්වහන්සේ රට තුළ යුද ගිනිදැල් ඇවිළී සමයේ තම දිවි දෙවැනිකොට උතුරු – නැඟෙනහිර මායිම් ගම්මාන කරා වැඩමවා අහිංසක පුරවැසියාගේ සුවය පිණිස කැපවුණි. එසේම ත්‍රිවිධ හමුදාව, පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ හා එක්ව ගංවතුර, නායයෑම්, වසංගත ආදී ජාතික ව්‍යසනයන්හි දී ලබා දුන් නායකත්වය සත් දනන් හද ලියවී ඇත. වර්ෂ 2004 දී සුනාමි ව්‍යසනයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් කළ සේවය අත්‍යුදාරය. එහිදී පානීය ජල අර්බුදයට විසඳුම් වශයෙන් ළිං 100කට අධික ප්‍රමාණයක් පිරිසිදු කරවීම, නව නිවාස ඉදිකරවීම හා ප්‍රතිසංස්කරණය කරවීම, ආහාරපාන හා සෞඛ්‍ය සේවාවන් සලසා දීම, අඩු ආදායම්ලාභී පවුල් නඟාසිටුවීමට කටයුතු කිරීම, ගැබිනි මාතාවන් වෙනුවෙන් අවැසි උපකරණ ලබා දීම, කොවිඩ්- 19 වසංගත රෝග සමයේ ජාති, ආගම් භේදයකින් තොරව නිහඬ ජනතා සේවයක නිරත වීම ආදිය ප්‍රශංසනීයය. යුතුකම පමණක්ම සලකා ඉදිරියට ආ යතිවරයාණෝ තවදුරටත් පැසසිය යුතු ලෝක ශාසනික සේවයක නිරත වී සිටිති.
මෙනයින් අඩසියවසක් පෙළහර පා සසුනඹර එකලු කළ නැණවිරු නාසමිඳාණෝ 65 විය පිරූ මහතෙර නමකි. රත්මලාන සිරි මල්ලිකාරාම පින්බිමට ද 65 වසරකි.ශත වර්ෂාධික කාලයක් යෙහෙන් වොරැඳෙන්නට සිත් සන්තොසින් සසුන් වැඩ වඩන්නට සූවිසි ගුණ බෙලෙන් වේවා! දිගාසිරි
මල්ලිකාරාම මහා විහාරවාසී ගෞරව ශාස්ත්‍රවේදී පාණදුරේ විනීත හිමි