Monday, April 21, 2025
Home » වසර තුනකට පසු කාසල්රි ජලාශයත් වාන් දමයි

වසර තුනකට පසු කාසල්රි ජලාශයත් වාන් දමයි

මහ වැස්සෙන් ජන ජීවිතයට බධා

by mahesh
November 24, 2023 1:00 am 0 comment

කරල්ලියද්ද සමූහ - කේ. විජේසිරි නිශ්ශංක, ඩී.එස් - ගුණතිලක ඌව වෙල්ලස්ස විශේෂ, ලුණම සමූහ - සනත් ගමගේ, ගිරාඳුරුකෝට්ටේ සමූහ- සෝමදාස සමර ගුණරත්න,කොටදෙණියාව සමූහ - එම්. පුෂ්පකුමාර, රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - අම්බලන්තොට සමූහ, තිරප්පනේ- ඩී.ජේ.දිසානායක, මීගහතැන්න සමූහ, සී. ගමගේ - සොරණාතොට සමූහ, පුත්තලම අතිරේක - හිරාන් ප්‍රියංකර ජයසිංහ, හැටන් රංජිත් රාජපක්ෂ, බළන්ගොඩ විශේෂ - සම්පත් ප්‍රියනන්දන, ඌරුබොක්ක විශේෂ -ඒ.පී.දයාචන්ද්‍ර, පාදුක්ක සමූහ - රෙක්සි වෙත්තසිංහ

– තෙල්දෙණිය රංගල නිවාස පේලි දෙකක පවුල් 11ක් ඉවත් කරති
– බළන්ගොඩ යද්දෙහිකන්ද නායයෑමේ අවදානමක්: පවුල් 6ක 22ක් ඉවත් කරති
– අම්බලන්තොට රෝහලට ගංවතුර: නේවාසික රෝගීන් හම්බන්තොට මහ රෝහලට
– මාවුස්සාකැළේ ජලාශය පිටාර මට්ටමේ
– කැලණි ගඟේ ජල මට්ටමත් නඟී
– උඩවලව ජලාශයේ වාන් දොරටු 5ක් අරී
– විමලසුරේන්ද්‍ර ජලාශයත් වාන් දමයි

රට පුරා පවතින වැසි තත්ත්වය හේතුවෙන් ජනතාව දැඩි අසීරුතාවට පත්ව ඇති අතර ප්‍රදේශ රැසක නායයෑම් සිද්ධීන් වාර්තා වෙයි. තෙල්දෙණිය රංගල ප්‍රදේශයේ රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් නිවාස පේලි දෙකක පවුල් 11ක් හදිසියේම පෙරේදා (22) ඒ ස්ථානයෙන් ඉවත් කර තිබේ.

ඔවුන් රංගල ප්‍රාථමික දෙමළ විදුහල් ශාලාවක නවතා ඇත. ඌවපරණගම අඹගස්දොව පවුල් 14ක සාමාජිකයන් 41ක් ද ඉවත් කර ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල්. උදයකුමාර මහතා පවසයි. ඔවුන් විහාරස්ථානයක සහ මුස්ලිම් පල්ලියක තාවකාලිකව රඳවා තිබේ. එමෙන්ම බළන්ගොඩ යද්දෙහිකන්ද නායයෑමේ අවදානමක් හේතුවෙන් පවුල් 6ක සාමාජිකයන් 22ක් ඉවත් කර තාවකාලිකව ආරක්ෂිත ස්ථානවලට යොමුකර තිබේ.

ඔවුන්ට අවශ්‍ය පිසූ ආහාර ලබාදීමේ වැඩසටහන් ග්‍රාම නිලධාරීන්, පොලිස් නිලධාරීන් එක්ව සිදු කරති.මේ අතර මාර්ග ජලයෙන් යටවීම, ගල් පෙරළීම, ගස් කඩා වැටීම් හේතුවෙන් ගමනාගමන කටයුතුවලට ද දැඩි බලපෑම් එල්ල වී තිබිණි. එමෙන්ම වලවේ ගඟ උතුරා යෑම නිසා අම්බලන්ගොඩ නිවාස රැසක් ජලයෙන් යටවී තිබේ. එමෙන්ම ජලාශ රැසක ජල මට්ටම ඉහළ යෑම නිසා වාන් දොරටු විවෘත කිරීමට ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබිණි. වැල්ලවාය අලිකොටආර ජලාශයේ වාන් දොරටු විවෘත කර ඇති අතර වලවේ ගඟ උතුරා යෑම හේතුවෙන් අලුයම් කාලයේ සිට අම්බලන්තොට ගම් රැසක පහත්බිම් ජලයෙන් යටවී ඇත. පාසල් රැසක් ද ජලයෙන් යටවී ඇති අතර පාසල් සිසුන් නැවත නිවෙස්වලට යැවීමට පියවර ගෙන තිබේ. අම්බලන්තොට රජයේ රෝහලට ද ගංවතුර අවදානමක් ඇති බැවින් නේවාසික රෝගීන් හම්බන්තොට මහ රෝහලට මාරුකර යැවීමට පියවර ගෙන තිබේ. උඩවලව ජලාශයේ වාන් දොරටු 5ක් ද විවෘත කර තිබේ. දැනට පවතින වැසි සහිත කාලගුණය මෙන්ම ජලාශය ආශ්‍රිත ජලපෝෂක ප්‍රදේශවලින් ගලා එන ජලය මගින් උල්හිටිය රත්කිඳ මහවැලි මහ ජලාශයේ ජල මට්ටම ඉහළයෑම හේතුවෙන් අතිරික්ත ජලය පිට කිරීමට එහි වාන් දොරටු තුනක් පෙරේදා (22) රාත්‍රි 8.15ට පමණ විවෘත කිරීමට පියවර ගත් බව ජලාශය භාර තාක්ෂණික නිලධාරි දීප්ත ජයසේකර මහතා පැවසීය.

වලවේ, ඒරුවැවේ වාන් දොරටු දෙකක් විවෘත කර තිබේ. කුකුළේ ගඟ බලාගාරයේ වාන් දොරටු දෙකක්ද විවෘත කර තිබේ. කාසල්රි ජලාශය පෙරේදා (22) සිට වාන් දැමීමට පටන්ගෙන ඇති අතර වසර තුනකට පසු මෙසේ වාන් දමා ඇතැයි ජලාශ භාර ඉංජිනේරුවරයා පවසයි.

ජලාශයෙන් අඟල් 2 ½ බැගින් වාන් 13කින් ජලය පිට කරන බව ද ඉංජිනේරුවරයා පැවසීය.

ජලාශය වාන් දැමීමත් සමඟ ඊට පහළින් පිහිටි විමලසුරේන්ද්‍ර ජලාශය ද පෙරේදා (22) මධ්‍යම රාත්‍රියේ සිට වාන් දමන බවත්, ජලාශ දෙකම වාන් දමන නිසා කැලණි ගඟේ ජල මට්ටම ඉහළ ගොස් ඇත.

මාවුස්සාකැළේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 03ක් ආසන්නවී ඇති බවත්, ජලාශ දෙකේම ජල මට්ටම් ඉහළ ගොස් ඇති නිසා විමලසුරේන්ද්‍ර, කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය ජල විදුලි බලාගාරවල ජල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් කරන බව විදුලි බලාගාර ඉංජිනේරුවෝ පවසති. වෙළෙඳසල්වලට පවා වැස්සෙන් හානි වී ඇති අතර නිවෙස්වල බඩු බාහිරාදියට ද අලාභහානි සිදුවී තිබේ.


නායයෑමේ අවදානමක්:

ඌව පරණගම ගලහගම පවුල් 60ක 195 දෙනෙක් ආරක්ෂිත ස්ථානවල රඳවති

නායයෑමේ අවදානමක් හේතුවෙන් ඌව පරණගම ගලහගම ප්‍රදේශයේ පවුල් 60කට අයත් පුද්ගලයන් 195ක් ගලහගම විහාරස්ථානයේ හා අලුත්වත්ත ජුම්මා පල්ලියේ ආරක්ෂිත මධ්‍යස්ථානවල රඳවා ඇති බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි.මේ පුද්ගලයන්ට අවශ්‍ය වියළි සලාක ඇතුළු අනෙකුත් පහසුකම් ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සපයා ඇති බව කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය. එම ප්‍රදේශයේ ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය මගින් සිදුකළ පරීක්ෂණ කටයුතු අවසානයේ දුන් නිර්දේශ මත අවශ්‍ය ඉදිරි කටයුතු ගැනීමට පියවර ගන්නා බව කළ විමසීමක දී බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය.

බදුල්ල නිශාන්ත අබේගුණවර්ධන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT