“ ගල් ලෙන බිඳලා ලෙන් දොර ඇරලා සිංහබා ….සිංහබා..”
රඟහල නිහඬය. සිංහයා කරළියේ සිංහ රැඟුමකය. එදා සිංහබාහු ලෙසින් කරළියේ රැඟු පළමු වැන්නා ඔහුය. ඔහු කරළියේ නැතත් සිංහයා තවම කරළියේය. එහෙත්, පළමුව සිංහයාට පණ දුන් සිංහයා ජීවන කරළියෙන් බැස ගියේ පසුගිය දිනෙකය. ඔහු ජීවන කරළියෙන් බැස ගිය ද ඔහු රඟ මඬල මත පෑ රැඟුම් නොමැකෙන මතකයන්ය. 1961 වර්ෂයේදී මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ සිංහබාහු වේදිකා නාට්‍ය කරළියට පිවිසි අතර ඒ සඳහා පණ දුන් පළමු සිංහයා ඔහුය. ඔහු චාර්ලි ජයවර්ධනයන්ය. සිංහබාහු නාට්‍ය පවුලේ සැම චාලි අයියා ලෙස හඳුන්වනු ලැබූ චාලි ජයවර්ධනයන්ය. සිංහ පවුලේ සිංහ චරිතයට පණ දුන් මාරක් ඇන්තනී ප්‍රනාන්දු සහ සමන් බොකලවෙල ජීවන රංගනය නිමා කළේ චාලි ජයවර්ධනයන්ට පෙරය.
චාලි ජයවර්ධන මහතා තවත් එක් වේදිකා නාට්‍ය නළුවකු පමණක්ම නොවේ. ඔහුට ඉන් එහා ගිය අධ්‍යාපන පසුබිමක් සහ පරිපාලන නිලධාරියකු ලෙස මනා පරිචයක් තිබුණි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියකු වූ ජයවර්ධනයන් ඉහළ පරිපාලන තනතුරු දැරූවෙකි. ඔහු තැපැල් අමාත්‍යාංශයේ ලේකම්වරයකු ලෙස ද කටයුතු කර තිබේ. පරිපාලන නිලධාරීන් අතර චාලි, ප්‍රසිද්ධව සිටියේ ඕ. සි. ජයවර්ධන ලෙසය. චාලි ද කලාවට නම් දැරූ දකුණේ අම්බලන්ගොඩ උපන් අයෙකි. ඔහුගේ පාසල අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයයි. චාලි ජයවර්ධනයන්ගේ වැඩිහිටි සහෝදරයා වන්නේ ජ්‍යෙෂ්ඨ රංගනවේදී ඩොමී ජයවර්ධනයන්ය.
වේදිකා නළුවකු ලෙස සිංහබාහු වේදිකා නාට්‍යයේ මෙන්ම සරච්චන්ද්‍රයන්ගේ වෙස්සන්තර වේදිකා නාට්‍යයට ද රංගනයෙන් දායකත්වය ලබා දී තිබේ. සිංහබාහු නාට්‍යයේම පසු නිෂ්පාදනයකදී යුව රජු චරිතයටද පණ පොවා තිබේ.
තවද කාලගෝල, ශ්‍රී වික්‍රම ආදී වේදිකා නාට්‍යවලට ද රංගනයෙන් දායකත්වය ලබා දී ඇති අතර ඔහු පොත්පත් ඇසුරට ද අතිමහත් කැමැත්තක් දැක් වූවකු ලෙස හඳුන්වා දිය හැකිය. ඒ පිළිබඳව සමාජ මාධ්‍ය සටහනක් තබා ඇති සාහිත්‍යවේදී බුද්ධදාස ගලප්පත්ති මහතා සඳහන් කර ඇත්තේ, පොත්පත් එළිදැක්වීමකදී චාලි ජයවර්ධන යනු නොවැරැදීම හමුවන සහෘදයකු බවය. වෘත්තියෙන් පරිපාලන අංශය සම්බන්ධ නිලධාරියකු වුවද ඔහු තුළ කලාව, සාහිත්‍ය භාෂාව පිළිබඳව අතිමහත් උනන්දුවක් මෙන්ම ඒ පිළිබඳ හසළ දැනුමක් තිබූ බවය.
චාලි ජයවර්ධන ජීවන කරළියෙන් බැස යන විට අසූ දෙවන වියේ පසු වූ අතර ඔහුගේ නික්ම යෑම කලා ලොවේ විශිෂ්ටයකුගේ නික්ම යෑමකි.