රට තුළ අපනයන ආර්ථිකයක් ඇති කිරීමේදී දැනට පවතින අපනයන වැඩිදියුණු කිරීම පමණක් ප්‍රමාණවත් නොවන අතර, ඒ සඳහා නව අපනයන ක්ෂේත්‍ර කෙරෙහිද අවධානය යොමු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (23) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති 25 වන ජනාධිපති අපනයන සම්මාන උලෙළ අමතමිනි.
ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය උදෙසා ඉමහත් සේවයක් ඉටු කළ අපනයනකරුවන් ඇගයීම වෙනුවෙන් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් වාර්ෂිකව මේ සම්මාන උලෙළ සංවිධානය කරනු ලබන අතර 2021/22 සහ 2022/23 මූල්‍ය වර්ෂ දෙක සඳහා ශ්‍රී ලංකාවේ හොඳම අපනයනකරුවන් ඇගයීම මෙවර සිදු විය. සෑම මූල්‍ය වර්ෂයක් සඳහාම සමස්ත සම්මාන 13ක්, නිෂ්පාදන සහ සේවා අංශයේ සම්මාන 51ක් සමඟින් ප්‍රධාන කාණ්ඩ දෙකක් යටතේ සම්මාන පිරිනැමීම මෙහිදී සිදු කෙරිණි. තවද, අයදුම්කරුවන්ගේ කාර්ය සාධනය මත විනිශ්චය මණ්ඩලය විසින් තීරණය කරනු ලබන පරිදි සුදුසුකම් ලත් අංශ සඳහා මෙවර කුසලතා සම්මාන පිරිනැමීම විශේෂත්වයකි. කුසලතා සම්මානලාභීන්ට සමරු ඵලක සහ සහතිකපත් ප්‍රදානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සංකේතාත්මකව සිදු විය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා:
“පසුගිය වසර දෙක තුන තුළ අප සියලු දෙනාම ගත කළේ ඉතා දුෂ්කර හා අර්බුදකාරී කාල පරිච්ඡේදයක්. ඊට හේතුව රටේ ආර්ථික වර්ධනයක් නොතිබීමයි. වෙළෙඳ ශේෂය තුළ අපට වාසිදායක තත්ත්වයක් තිබුණේ නැහැ. නිදහසින් පසු ශ්‍රී ලංකාවට අපනයනය ආර්ථිකයක් කෙරෙහි අවධානය යොමු කරමින් මේ ගැටලුවට විසඳුම් සොයාගැනීමට අවස්ථා 4ක් ලැබුණා.
“සිංගප්පූරුව, මැලේසියාව සහ දකුණු කොරියාව වැනි රටවල් 60, 70 දශකයේ මුල් භාගයේදී අපනයන ආර්ථිකය කරා යොමු වෙමින් ඔවුන්ගේ ගමන ආරම්භ කළා. එහෙත් අප සමාජවාදි ආර්ථිකයකට යොමු වීම නිසා අපට එම අවස්ථාව මඟහැරුණා. එසේම 80 දශකයේ අග භාගයේ අප විවෘත ආර්ථිකයකට යොමු වුණා. ඉන් අනතුරුව යුද්ධයට මැදි වූ නිසා අපගේ අවධානය සහ සම්පත් යුද්ධය ජය ගැනීම සඳහා යෙදවීමට සිදු වුණා. එබැවින් අපට ඒ අවස්ථාවද මඟ හැරුණා. ඊළඟ අවස්ථාව යුද්ධයෙන් පසුව අපට ආරම්භ කළ හැකිව තිබු නමුත් අප අවධානය යොමු කළේ වෙළඳාම් කළ නොහැකි භාණ්ඩ කෙරෙහියි. අද සිංගප්පූරුව, මැලේසියාව, ඉන්දුනීසියාව, වියට්නාමය, තායිලන්තය වැනි රටවල් අපව අභිබවා ඉදිරියට ගොස් තිබෙනවා.
“මම හිතන්නේ මෙය අපට තිබෙන අවසාන අවස්ථාවයි. පසුගිය ආර්ථික අර්බුදය හමුවේ මෙරට තරුණ තරුණියන් විශාල සංඛ්‍යාවක් රට හැර ගියා. මේ අයුරින් තරුණ තරුණියන් රට හැර යාමට පටන් ගත් විට මිනිසුන් නිවාඩුවට ගමේ යනවා වැනි තත්ත්වයක් ඇති විය හැකියි. ඔවුන් ආපසු යෑමට බලාගෙන ශ්‍රී ලංකාවට පැමිණෙන්න පටන් ගනීවි. ඔවුන්ගේ දෙවැනි තුන්වැනි පරම්පරා කිසි දිනක ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ නැහැ. අප මේ තත්ත්වය ආපසු හැරවිය යුතුයි.
“රට තුළ ආර්ථික පරිවර්තනයක් සිදු කරනවා නම් අප විසදාගත යුතු ප්‍රශ්න දෙකක් තිබෙනවා. ඒ අයවැය හිඟය සහ වෙළෙඳ ශේෂය.මේ දෙක එකිනෙකට බලපෑම් කරනවා. අප අයවැය හිඟය කෙරෙහි අවධානය යොමු කරන විට බදු ආදායම වැඩි කරගත යුතු වනවා. අපට මුදල් මුද්‍රණය කරන්න බැහැ. ඒ වගේම අපට පිටතින් ණය ගන්නත් බැහැ.
“මෙවර අයවැය තමයි අපි ණය ඉනොගත් පළමු අයවැය. අප ණය නොගෙන වියදම් පියවාගන්නේ කොහොමද? අපට වැට් බද්ද වැඩි කිරීමට සිදු වනවා. එහි ප්‍රතිඵලයක් ලෙස අපි සියලු දෙනා විවේචනයට ලක් වනවා. ඒත් ඉදිරියේදී මෙය අවබෝධ කරගැනීමට හැකි වනු ඇති.
“අපි අපේ අපනයන ඉහළ නංවාගත යුතුයි. එහිද අප කර්මාන්ත ක්ෂේත්‍රය දියුණු කළ යුතුයි. මෙවර අයවැයෙන් ප්‍රථම වතාවට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සඳහා මුදල් ලබා දී තිබෙනවා. මේවායේ ඵලදායිතාව නැංවීම වෙනුවෙන් ජාතික ඵලදායිතා කොමිෂන් සභාව වැනි ආයතන පිහිටුවීමට කටයුතු කර තිබෙනවා. ඒවගේම ඔබට සහය වන තවත් බොහෝ ක්ෂේත්‍ර තිබෙනවා. ඒත් දැනට පවතින අපනයන ක්ෂේත්‍ර වැඩිදියුණු කිරීම පමණක් මේ සඳහා ප්‍රමාණවත් වන්නේ නැහැ. අප නව අපනයන ක්ෂේත්‍ර පිළිබඳ අවධානය යොමු කළ යුතුයි. ඒ සඳහා නව ආයෝජනවලට ආරාධනා කළ යුතුයි.
“අනුරාධපුර යුගයේ සිටම ශ්‍රී ලංකාව කෘෂි නිෂ්පාදන අපනයනය කරනු ලබනවා. මුලින්ම සහල්, අනතුරුව කුළුබඩු, විශේෂයෙන් කුරුඳු, ඉන් පසුව තේ, රබර් සහ පොල් අපනයනය කරනු ලැබුවා. බ්‍රිතාන්‍යයන් රට හැර යන තුරුම අපි මෙය කරගෙන ආවා. ඒත් අප තවදුරටත් කෘෂිකාර්මික භාණ්ඩවල ප්‍රධාන අපනයනකරුවා නොවෙයි. ඒත් මෙය අපට හුරුපුරුදු ක්ෂේත්‍රයක්. ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන පදනම ගොඩනැඟුණේ වෙළෙඳාමෙන් නොවෙයි, කෘෂිකර්මාන්තයෙන්. ඒ සඳහා අපට හැකියාවක් තිබෙනවා. ඒ නිසා අප එයින් ඈත් විය යුතු නැහැ. ඔබට කෘෂිකර්ම කටයුතු සඳහා අවශ්‍ය ඉඩම් දැන් සොයාගත හැකියි. ඒ වගේම නවීන තාක්ෂණය කෘෂිකර්මාන්තයට එක්වීමත් සමග තරුණ තරුණියන් ඊට එක් වනු ඇතැයි අප විශ්වාස කරනවා.
“කෘෂි තාක්ෂණ විශ්වවිද්‍යාලයක්ද මෙරට පිහිටුවීමට අප සැලසුම් කර තිබෙන අතර, දැනට පවතින කෘෂිකාර්මික පර්යේෂණ ආයතන ප්‍රතිව්‍යූහගත කර නවීකරණය කිරීමට කටයුතු කරනු ලබනවා. මේ සඳහා ඔබටත් සහාය විය හැකියි. මේ කටයුතු සමඟ අප ඉදිරියට යමු කියා සියලු දෙනාට ආරාධනා කරනවා.”
ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම මහතාද මෙහිදී අදහස් දැක්වූ අතර, ඇමැතිවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, ආචාර්ය බන්දුල ගුණවර්ධන, මහින්ද අමරවීර, ඩග්ලස් දේවානන්දා, ජීවන් තොණ්ඩමන්, රාජ්‍ය ඇමැතිවරුන් වන තාරක බාලසූරිය, කනක හේරත්, අරවින්ද කුමාර්, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්. නයිමුදීන්, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති/ ප්‍රධාන විධායක ආචාර්ය කිංස්ලි බර්නාඩ් මහත්වරුන්ද, විදේශ තානාපතිවරුන්, රාජ්‍ය නිලධාරීන්, අපනයන ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.