රන්න, වීරකැටිය හා වලස්මුල්ල ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ නව පොල් ත්‍රිකෝණයක් ස්ථාපිත කිරීමට පොල් සංවර්ධන මණ්ඩලය තීරණය කර තිබේ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ පොල් පැළ ලක්ෂයක් රෝපණය කරමින් මෙම නව පොල් ත්‍රිකෝණය ආරම්භ කෙරේ. එමෙන්ම එම ප්‍රදේශවල ගොවි ජනතාවට තම ගෙවතුවල පොල් පැළ රෝපණය සඳහා එක් නිවෙසකට පොල් පැළ 05ක් බැගින් ලබා දීමට කටයුතු යොදා ඇත.
මෙරට පොල් වගාව වැවිලි භෝගයක් වශයෙන් සිදු කෙරුණත් මෙතෙක් සමස්ත පොල් නිෂ්පාදනයෙන් සියයට 75ක් දේශීය පරිභෝජනය සඳහා යොදා ගැනීම සිදු කෙරේ. අපනයනය කිරීම සඳහා ඉහළ ඉල්ලුමක් සහිත වැවිලි භෝගයක් වුවත් මෙතෙක් මෙරට පොල් නිෂ්පාදනය අපනයන ඉලක්ක කර සංවර්ධනය වී නැත. දෛනික සමස්ත පොල් පරිභෝජනය ගෙඩි මිලියන 4.5ක් පමණ වුවද දෛනික පොල් නිෂ්පාදනය ගෙඩි මිලියන 03ක් පමණ වේ. මේ නිසා පොල් වගාවට ඉඩකඩ ඇති සෑම ගෙවත්තකම වගා කිරීම සඳහා ජනතාව පෙළඹවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා ජාතික පොල් සංවර්ධන මණ්ඩලයට උපදෙස් දී තිබේ. එමෙන්ම අප රටේ පොල් පරිභෝජනයේදී ප්‍රයෝජනයට ගත හැකි විශාල ප්‍රමාණයක් නොදැනුවත්භාවය නිසා විනාශ වී යන බැවින් පොල් පරිභෝජනයේදී පොල් ගෙඩියකින් ලබාගත හැකි උපරිම ප්‍රයෝජන ලබා ගන්නා ආකාරය පිළිබඳ මහජනතාව දැනුම්වත් කිරීමේ ප්‍රායෝගික වැඩසටහන් සකස් කරන්නැයි ද ඇමැතිවරයා එම මණ්ඩලයට උපදෙස් දී ඇත. මෙම නව පොල් ත්‍රිකෝණය සඳහා ගොවීන්ට පොල් පැළ බෙදා දීම කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දින කීපය තුළ සිදු කෙරිණි.
බුද්ධිකා ඉඹුලාන