Sunday, April 20, 2025
Home » ජනතා ඉල්ලීම පල දරයි පොතුවිල් උප ඩිපෝව ප්‍රධාන ඩිපෝ අතරට

ජනතා ඉල්ලීම පල දරයි පොතුවිල් උප ඩිපෝව ප්‍රධාන ඩිපෝ අතරට

- ඩිපෝවේ නවීකරණ කටයුතු ඇමැති ආචාර්ය බන්දුල අතින් ඇරඹේ / වියදම මිලියන 60ක්

by sachintha
November 21, 2023 1:09 am 0 comment

මූලික අදියර දෙසැම්බර් 31දාට අවසන් කරන සැලසුම්

පොතුවිල් හා අරුගම්බේ සංචාරක කලාප සම්බන්ධීකරණය කරමින් පොදු මගී ප්‍රවාහන සේවාවන් තවදුරටත් විධිමත් කිරීම හා පුළුල් කිරීම අරමුණු කර ගනිමින් ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් පොතුවිල් උප ඩිපෝව ප්‍රධාන ඩිපෝවක් බවට පත් කර සංවර්ධනය කෙරේ.

මෙය අක්කරෙයිපත්තුව ඩිපෝව යටතේ 2005 වසරේ සිට උප ඩිපෝවක් වශයෙන් පැවතුණි. එම උප ඩිපෝව ප්‍රධාන ඩිපෝවක් බවට පත් කර ඩිපෝවේ නවීකරණ කටයුතු ආරම්භ කිරීම සඳහා මුල් ගල තැබීම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණි. මේ උප ඩිපෝව ප්‍රධාන ඩිපෝවක් බවට පත් කරන ලෙස පොතුවිල් ජනතාව විශාල පිරිසක් ඇමැතිවරයාගෙන් සිදු කළ ඉල්ලීම් ද සලකා බලා මේ පියවර ගෙන තිබේ. ඒ අනුව මෙතෙක් අක්කරෙයිපත්තුව ප්‍රධාන ඩිපෝව යටතේ උප ඩිපෝවක් ලෙස ක්‍රියාත්මක වූ පොතුවිල් උප ඩිපෝව මෙතැන් පටන් ප්‍රධාන ඩිපෝවක් ලෙස ජනතාව වෙත වඩාත් පුළුල් සේවාවක් සපයමින් ක්‍රියාත්මක වේ. රුපියල් මිලියන 60ක ප්‍රතිපාදන යටතේ, ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව මගින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කිරීමට නියමිතය.

එහිදී අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීවේය.

Òදීර්ඝ කාලයක් රටේ සංවර්ධන කටයුතු ඇනහිට තිබුණු තත්ත්වයක පොතුවිල් ඇතුළු නැඟෙනහිර පළාතේ අලුත් සංවර්ධන වැඩපිළිවෙළක ආරම්භක අවස්ථාව ලෙස මෙය හැඳින්විය හැකියි. ඒ යටතේ පොතුවිල් හා ලග්ගල ප්‍රදේශ දෙකම ආවරණය වන පරිදි ඩිපෝ අධිකාරිවරයකු යටතේ පාලනය වන ප්‍රධාන ඩිපෝවක් ලෙස පොතුවිල් උප ඩිපෝව සංවර්ධනය කිරීමට ලැබීමෙන් පළාතේ පොදු ප්‍රවාහන සේවය වඩාත් පලදායී ලෙස කාර්යක්ෂම කිරීමට හැකියාව ලැබෙනු ඇති බව මා විශ්වාස කරනවා. එහි මූලික අදියර දෙසැම්බර් 31 වැනි දින වන විට අවසන් කිරීමට මේ වන විට සැලසුම් කර තිබෙනවා. ඉතිරි කොටස ලබන වසරේ මුල් පරිච්ඡේදයේ අවසන් කිරීමට බලාපොරොත්තු වනවා. මෙහි ඉදිකිරීමට කිසිදු පෞද්ගලික කොන්ත්‍රාත්තුවක් දී නැති අතර රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව රාජ්‍ය ආයතනයක් වශයෙන් එහි ඉදිකිරීම් භාරව කටයුතු කරනවා.

ආරුගම්බේ ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකය පුරාම ප්‍රසිද්ධ සංචාරක ගමනාන්තයක්. ආරුගම්බේ සිට කටුනායක ගුවන්තොටුපොළ දක්වා ගමනට විශාල පිරිවැයක් දැරීමට සිදු වෙනවා. පෞද්ගලික රථයකින් එම ගමනාන්තයට රු. 50000කට අධික මුදලක් වැය වෙනවා. එය ඉතිහාසයට එකතු කරමින් හෙට දින සිට අධි සුඛෝපභෝගී බස් රථයකින් රුපියල් 2900ක මුදලකට ආරුගම්බේ සිට ගුවන්තොටුපොළ දක්වා යෑමට නව බස් රථ සේවයක් ආරම්භ කිරීමට මේ සමඟ අප කටයුතු කරනවා.

දිවයිනේ ප්‍රධාන සංචාරක කලාප හරහා පොදු ප්‍රවාහන සේවය තවදුරටත් වර්ධනය කිරීමට ඇල්ල දක්වා ගමන් කරන ඇල්ල ඔඩෙසි දුම්රිය හෝ වෙනත් විකල්ප දුම්රියක්‌ හරහා ආරුගම්බේ ඇතුළු ප්‍රදේශවලට ළඟාවීමේ හැකියාව පිළිබඳ සොයා බැලීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට අප බලාපොරොත්තු වනවා.

මේ සියලු සංවර්ධන කටයුතුවලට මුදල් සපයා ගැනීම ඉතාමත් බරපතළ තත්ත්වයක පවතිනවා. Ò පුපුරා යෑමට ආසන්න ගිනි කන්දක් උඩ තාච්චියක් තබාගෙන සොසේජස් කන ජාතියක් Ò වැනි ඉතාමත් අවදානම් තත්ත්වයක අප පසුවන බව පසුගියදා මා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. එතරම් අවදානම් තත්ත්වයත් අපේ රට ගැන කිසිදු හැඟීමක් නැති ඇතැම් දේශපාලනඥයන් රටට සඟවනවා. බංකොලොත් රටක් බව ලෝකයට නිල වශයෙන් ප්‍රකාශ කරමින් මේ වන විට වසර දෙකක් විදේශ ණය නොගෙන පවතිනවා. ඒ පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවකට පැමිණ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ වැඩපිළිවෙළක නිරත වෙමින් සිටිනවා. තවමත් එය නිම වී නැහැ. 2048 වසර දක්වාම අප විසින් ගත් ණය කොටස් වශයෙන් ගෙවීමට අන්තර්ජාතික නීතිය යටතේ අප බැඳී සිටිනවා. මෙලෙස පත්ව සිටින නරකම තත්ත්වයෙන් රට ගොඩ ගැනීමට ජනාධිපතිතුමා පෞද්ගලිකවම අසීමිත කැප කිරීමක් කරමින් ඉන්දියාව, චීනය, ජපානය ඇතුළු රටවල රාජ්‍ය නායකයන්, ජාත්‍යන්තර සංවිධාන මුණගැසී සාකච්ඡා කළා. ඒ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස පොදු වැඩපිළිවෙළකට මේ වන විට එකඟ වී තිබෙනවා. 2027 දක්වා කෙටිකාලීන වැඩපිළිවෙළක්, ඉන් ඉදිරියට තවත් දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් ඒ යටතේ සැලසුම් කර තිබෙනවා. ඒ අනුව 2027 දක්වා කවුරුන් විසින් රටේ රාජ්‍ය බලය හෙබවූවත් ජාත්‍යන්තර වෙළෙඳ පොළට කිසිදු සංවර්ධන බැඳුම්කරයක් නිකුත් කිරීමේ හැකියාවක් අපේ රටට නැහැ. 2027න් පසුවත් ලබාගත හැකි වන්නේ අමෙරිකානු ඩොලර් බිලියන 1500ක් පමණයි. ඒ වන විට රටේ විදේශ සංචිත අමෙරිකානු ඩොලර් බිලියන 14 දක්වා වැඩිවී තිබිය යුතුයි. එලෙස සැලැස්මකින් පමණයි රට පැවතිය හැක්කේ.

“මේ වැඩපිළිවෙළ ප්‍රතික්ෂේප කරන කවුරුන් හෝ බලය ලබා ගත්තත් ඒ රජය පවත්වාගෙන යා හැක්කේ සති දෙකක කාලයක් පමණයි.” එසේ වුවහොත් බංකොලොත් රට තවත් බංකොලොත් වී අගාධයටම පත්වීමේ අවදානමක් පවතිනවා. මේ පවතින අර්බුදය ගැන ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව ක්‍රිකට් අර්බුදය ගැන තරම්වත් තැකීමක් සිදු කරන්නේ නැහැ. කවදා හෝ ආණ්ඩු බලය ලබා ගැනීමට බලාපොරොත්තු වෙන කෙනෙකු මේ ණය ප්‍රමාණය ගෙවන ආකාරය පිළිබඳව රටට කරුණු පැහැදිලි කළ යුතුය.

උත්සවයට සමගාමීව පොතුවිල් උප ඩිපෝවේ දීර්ඝ කාලයක් සේවය කළ කාර්ය මණ්ඩලය අගයමින් උපහාර තිළිණ ප්‍රදානය කිරීමද අමාත්‍යවරයා ප්‍රමුඛ ආරාධිත අමුත්තන් අතින් සිදු විය.

අරුගම්බේ සිට පොතුවිල් හරහා කටුනායක ගුවන් තොටුපොළ දක්වා ලංකා ගමනාගමන මණ්ඩලය මගින් සිදු කෙරෙන අධි සුඛෝපභෝගී බස් රථ සේවාව ආරම්භ කිරීමද මෙහිදී අමාත්‍යවරයා ප්‍රමුඛ ආරාධිතයන්ගේ සහභාගිත්වයෙන් සිදු විය.

නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන්, දිගාමඬුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වීරසිංහ, දිගාමඬුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. එම්. මුෂාරාෆ්, ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස්, රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ සභාපති කුෂාන් දේවින්ද, ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයෝ, ප්‍රදේශවාසීහු ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

සුභාෂිණී සේනානායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT