Home » හදිසියේ රෝගී වූ මගියා ලංගම බසයෙන්ම සාලාව රෝහල වෙත ගෙනවිත්

හදිසියේ රෝගී වූ මගියා ලංගම බසයෙන්ම සාලාව රෝහල වෙත ගෙනවිත්

රියැදුරු සහ කොන්දොස්තරගෙන් මනුස්සකම අගයන වැඩක්

by mahesh
November 17, 2023 1:00 am 0 comment

මීගොඩ - බී.කේ. කත්‍රිආරච්චි

කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා ධාවනය වූ ලංගම බස් රථයක ගමන් ගත් මගියෙකු හදිසියේම රෝගී වීම නිසාවෙන් කොස්ගම සාලාව රෝහල වෙත එම රෝගියා ගෙනැවිත් භාර දීමට එම ලංගම බස් රථයේ රියැදුරු සහ කොන්දොස්තර මහත්වරු දෙදෙනා විසින් (16) දින දහවල් කටයුතු කර ඇත. ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් එන් සී 0296 දරන බස් රථයෙහි රියැදුරු ලෙස කටයුතු කළ යටියන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවකු වන වයි.ජී.එල්.එස්. කුමාර මහතා සහ එම බස් රථයේ කොන්දොස්තර ලෙස කටයුතු කළ රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන සිසිර කුමාර යන දෙදෙනා විසින් රෝගී වූ මගියා මෙලෙස සාලාව රෝහලට භාර දීමට කටයුතු කර ඇත. සිද්ධිය පිළිබඳව අදහස් දැක්වූ අදාළ බස් රථයෙහි කොන්දොස්තර ලෙස කටයුතු කළ සිසිර කුමාර මහතා මෙසේ කීය. අපි කොළඹ ඉඳල අවිස්සාවේල්ලට යන්න ආවේ. බස් රථයේ ආසන ගාණටම වගේ මගීන් හිටියා. රණාල හරියේදී එක් මගියෙක් අසනීප තත්ත්වයක් පෙන්නුම් කළා. ඇඟ වෙව්ලලා හුඟක් අසනීප තත්ත්වයක් තමයි දැක්කෙ. පස්සෙ මමයි රියැදුරු මහතායි කතාවෙලා ළඟම තිබුණ සාලාව රෝහලට බස් එක අරං ගියා. ගිහින් රෝගී තත්ත්වයෙන් හිටපු මගියාව භාර දීලා අනෙත් මගීන්වත් රැගෙන ගමනාන්තයට ආවේ. බස් එකේ හිටපු මගීන් කවුරුත් ඒකට උදව් කළා.

මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී සාලාව දිසා රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුචිර ගෝනලගොඩ මහතා මෙසේ කීය. එම රෝගියා දැනටත් වලිප්පු රෝගී තත්ත්වය සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලෙන් ප්‍රතිකාර ගන්න කෙනෙක්. වයස අවුරුදු 58ක පුද්ගලයෙක්. අපේ රෝහලට රැගෙන එන විටත් රෝගී තත්ත්වයෙන් පෙළුණා. මූලික ප්‍රතිකාර සිදු කිරීමෙන් පසු රෝගියාව අවිස්සාවේල්ල මූලික රෝහල වෙත යැවීමට කටයුතු කළා.

බස් රථ රියැදුරන් පිළිබඳව මේ දිනවල සමාජය තුළින් ඇසෙන්නේ යහපත් තත්ත්වයක් නොවේ. එහෙත් සෑම බස් රථ සේවකයෙක්ම එකලෙස නොවන බවත් මනුස්සකම හදවතේ තිබෙන පිරිස් ද බස් රථවල සේවයේ යෙදෙන බවත් මෙමගින් සමාජයට පාඩමක් කියාදෙන අවස්ථාවකි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT