Home » මොරටුවේ කතෝලික සුසාන භූමිවල කිරිගරුඬ පිළිම ඉස්සීමට අනුබලදුන් හමුදා සෙබලෙක් රිමාන්ඩ්

මොරටුවේ කතෝලික සුසාන භූමිවල කිරිගරුඬ පිළිම ඉස්සීමට අනුබලදුන් හමුදා සෙබලෙක් රිමාන්ඩ්

by mahesh
November 17, 2023 1:00 am 0 comment

නුගේගොඩ සමූහ-සමීර අබේසිංහ, පොතුපිටිය- සුමිත් ප්‍රේමතිලක, බණ්ඩාරගම- බිමල් ජයසිංහ

මොරටුව, කඩොලාන ශාන්ත අන්තෝනි දේවස්ථාන සුසාන භූමියේ සහ මොරටුව ශුද්ධවූ එම්මානුවෙල් දේවස්ථාන සුසාන භූමියේ ස්ථාපිත කර තිබූ පෞරාණික කිරිගරුඬ පාෂාණයෙන් නිමවූ දේව දූත ප්‍රතිමා දෙකක් සොරකම් කළ කල්ලියට ආධාර අනුබල දුන් ශ්‍රී ලංකා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ සේවයේ නියුතු යුධ හමුදා සෙබලෙක් මොරටුමුල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන (16) වන දින මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නොවැම්බර් මස (28) වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයේ අතිරේක මහේස්ත්‍රාත් උද්දාල සුහන්ඳුරුගොඩ මහතා විසින් නියෝග ලබාදී ඇත.

මෘත දේහය තැන්පත් කර තිබූ මිහිදන්වලට උරුමකම් කියනු ලබන ඥාති පිරිස හා පොලිස් නිලධාරින් එක්ව සුසාන භූමිය අවට සවි කොට ඇති සීසීටීවී කැමරා දර්ශන පරික්ෂා කිරීමෙන් අනතුරුව ශුද්ධවූ එම්මානුවෙල් දේවස්ථානයට අයත් සුසාන භූමියේ මිහිදන් වලක් අසල ස්ථාපිත කර තිබූ දේව දූත ප්‍රතිමාවක් රාත්‍රී කාලයේ එම ස්ථානයට පැමිනෙන පුද්ගලයින් දෙදෙනෙක් විසින් කාර් රථයකට පටවාගෙන යන ආකාරය නිරීක්ෂණය වීමෙන් පසු කාර් රථයේ අංකය ඔස්සේ සිදුකළ පරීක්ෂණවලින් සැකකරුවන් හඳුනාගෙන අත්අඩංගුවට ගෙන තිබූ අතර පළමු සැකකරු යුද හමුදා රෝහලේ සේවයේ නියුතු වෛද්‍යවරියෙකගේ රියදුරු වශයෙන් සේවය කළ අයෙක් බවට හඳුනාගැනීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන සිදුකළ දීර්ඝ විමර්ශනයේදී මොරටුව කඩොලාන ශාන්ත අන්තෝනි දේවස්ථානයට අයත් සුසාන භූමියේ 1914 වර්ෂයේ සිට ස්ථාපිත කර තිබූ පෞරාණික වටිනාකමකින් යුත් දේවදූත ප්‍රතිමාවද මොවුන් විසින් සොරකම් කර ඇති බව අනාවරණය කරගත් බවද පොලිසිය පවසයි. පළමු සැකකාර රියදුරුවරයාගෙන් ලද තොරතුරු මත කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ රාජකාරියේ නියුතු ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවට අනියුක්තව සේවය කරන සිද්ධියට සම්බන්ධ සැකකාර සෙබළා අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකාර සෙබළා (37) වියේ පසුවන මැදගල, එප්පාවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත් පොලිසිය පැවසීය.

මීට පෙර (13) වන දින රාත්‍රියේ අත්අඩංගුවටගත් යුද හමුදා වෛද්‍යවරියගේ රියදුරුවරයා (14) අධිකරණයට ඉදිරිපත් කර මේ මස (28) වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බව පොලීසිය පැවසීය. සැකකරුවන් විසින් දේවදූත ප්‍රතිමා දෙක විකිණීම සඳහා ලබාදී තිබූ කිරිදිවැල මල්වාන ප්‍රදේශයේ පෞරාණික භාණ්ඩ විකිනීමේ ආයතනයේ හිමිකරුද මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්නකර පරීක්ෂණ පවත්වා පොලිස් ඇප මත මුදා හැර ඇති බවද පොලිසිය පැවසීය.

පොලිසිය විසින් මෙම දේවදූත ප්‍රතිමා පිළිබඳ පෞරාණික තොරතුරු හා වටිනාකම තක්සේරු කිරීමට විශේෂඥ වාර්තාවක් කැඳවා ඇති බවත් ඒ අනුව ඉදිරි විමර්ශන කටයුතු අධිකරණයට දැනුම් දෙන බවත් පොලීසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ගල්කිස්ස කොට්ඨාස බාර භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය මහතාගේ සෘජු අධීක්ෂණය මත මොරටුමුල්ල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිනෙෂ් චන්ද්‍රසිරි මහතාගේ උපදෙස් හා මෙහෙයවීම මත අපරාධ අංශයේ නිලධාරීන් විසින් සිදුකරනු ලබයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT