ලොව නිදැල්ලේ මුවන් සැරිසරන එකම නගරය වන ත්‍රිකුණාමල නගරයේ මුවන් සංරක්ෂණය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව ත්‍රිකුණාමලයේ වනජීවී අඩවි ආරක්ෂක දිලුම් අබේරත්න මහතා පවසයි.
කලක පටන් ත්‍රිකුණාමලේ කොටු පවුර කේන්ද්‍ර කරගෙන ජීවත් වන මුවන් වර්තමානයේ විවිධ අනතුරු හේතුවෙන් මියයාමේ සිදුවීම් බහුලව වාර්තාවේ. නගරය තුළ අවිධිමත් ලෙස බැහැර කරන බෝතල් කටු, ප්ලාස්ටික් කැබලි කකුල් කුරවල සිරවීම හා ශරීරයේ දැවටී තුවාල සිදුවීම, රිය අනතුරු, පොලිතින් ආහාරයට ගැනීම සහ මුවන්ගේ වාසස්ථාන අහිමිවීම වැනි හේතු නිසා මෙම සතුන්ගේ පැවැත්මට ගැටලු මතු වී ඇත.
මෙම වසරේ මුල් කාර්තුවේ සිදු කළ මුව සංගණනයට අනුව ත්‍රිකුණාමල නගරයේ මුවන් 570කට ආසන්න ප්‍රමාණයක් ජීවත් වන බව තහවුරු වී ඇත. රාත්‍රී කාලයේ මුවන් ලැගුම් ගන්නා ස්ථාන 54ක් පමණ හඳුනාගෙන මෙම සංගණනය සිදු කර ඇත.
කෙනකුට සිතෙන්නට පුළුවන් ත්‍රිකුණාමලේ නගරයට මෙම සතුන්ගේ පැවැත්ම අවශ්‍යමද කියා. දෙස් විදෙස් සංචාරකයින් අතර ත්‍රිකුණාමලේ නගරය ජනප්‍රිය වීමට ප්‍රධාන හේතුවක් ලෙස මෙම ඓතිහාසික සම්පත පෙන්වාදිය හැකිය.
ජනප්‍රවාදවල පැවසෙන පරිදි එවකට ඕලන්ද ජාතිකයින් පෙඩ්ඩ්‍රික් කොටුව ඉදිරියේ හා ඒ ආශ්‍රිතව ගැවසුණු මුවන් සඳහා අභයදානය දී ඔවුන් රැකබලාගෙන ඇත. කෝනේශ්වරම් දේවාලයට දෙවියන් දුන් තෑග්ගක් ලෙස හින්දු භක්තිකයින් මොවුන්ව සලකයි. කෙසේ වෙතත් ත්‍රිකුණාමලේට සොබාදහමෙන් දායාද කළ අපූර්ව දායාදයක් ලෙස මෙම මුව රංචුව පෙන්වාදිය හැකිය.
ත්‍රිකුණාමලේ කොටුව ආශ්‍රිත ප්‍රදේශය ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදාන ක්‍රියාත්මක කිරීම, මුවන් නිතර ගැවසෙන ඩච් බේ වෙරළ තීරය ආසන්න ප්‍රධාන මාර්ගය සහ කොටු පවුරට පිවිසෙන මාර්ගයේ ගමන් ගන්නා වාහන සඳහා වේග සීමා පැනවීම, සංගමිත්තා විශ්‍රාම ශාලාවට යාබදව පිහිටි භූමිය උද්‍යානයක් ලෙස සංවර්ධන කර මුවන්ට නිදහස් වාසස්ථාන සැකසීම, පොදු වෙළෙඳපොළෙන් බැහැර කරන එළවළු ගෙනැවිත් මෙම සතුන්ට නිසි ක්‍රමවේදයක් හරහා ආහාරයට ගැනීමට සැලසීම, කප්පල්තුරේ වැනි ප්‍රදේශවල තෘණ බිම් ඇතිකර මෙම සතුන්ට අවශ්‍ය තෘණ ආහාරයට ගෙනැවිත් දීමේ ක්‍රමවේදයන් සකස් කිරීම වැනි වැඩසටහන් මඟින් ත්‍රිකුණාමලයේ මුව ගහනය ආරක්ෂා කර ගැනීම අත්‍යවශ්‍ය කාර්යයක් බවට පත්ව ඇත.