Tuesday, April 8, 2025
Home » ක්‍රිකට් නඩුවෙන් තව විනිසුරුවරයෙක් ඉවත් වෙයි

ක්‍රිකට් නඩුවෙන් තව විනිසුරුවරයෙක් ඉවත් වෙයි

by mahesh
November 17, 2023 1:00 am 0 comment

නෙල්කා මැදගෙදර

* පෞද්ගලික හේතු මත ගත් තීරණයක්
* නව විනිසුරු මඬුල්ල නම් කරයි
– විනිසුරු නීල් ඉද්දවෙල කියයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සඳහා ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා පත් කළ ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ කටයුතු අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට අදාළ පෙත්සම් විභාගයෙන් තෙවැනි අභියාචනාධිකරණ විනිසුරුවරයා ද ඊයේ (16) ඉවත් විය.

අදාළ පෙත්සම සලකා බැලීම සඳහා ඩී.එන්. සමරකෝන් සහ නීල් ඉද්දවෙල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මේ බව සඳහන් කෙරිණ.

එහිදී විනිසුරු නීල් ඉද්දවෙල මහතා සඳහන් කළේ පෞද්ගලික හේතු මත තමා මෙම පෙත්සම් විභාගයෙන් ඉවත් වන බවය.

ඒ අනුව නව විනිසුරු මඬුල්ලක් නම් කිරීම සඳහා පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා හමුවේ නැවත කැඳවීය.

එහිදී පෙත්සම් සලකා බැලීම සඳහා සෝභිත රාජකරුණා සහ ඩී.එන්. සමරකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල නම් කරන බව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා සඳහන් කළේය.

අනතුරුව පෙත්සම එම විනිසුරු මඬුල්ලේ එක් සාමාජිකයකු වන අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතා හමුවේ කැඳවීය.

එහිදී පෙත්සම්කාර ෂම්මි සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කියා සිටියේ මෙම පෙත්සමට අදාළව නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගය ඊයේ (16) දිනෙන් අවසන් වන බවය.

පෙත්සම සලකා බැලීම කල් තබන්නේ නම් එම අතුරු තහනම් නියෝගය දීර්ඝ කරන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීමට ක්‍රීඩා ඇමැතිවරයා වෙනුවෙන් නීතිඥ ජී.ජී. අරුල්ප්‍රගාසම් මහතාගේ උපදෙස් මත පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා දැඩි විරෝධය පළ කරමින් සඳහන් කළේ පෙත්සම්කාර පාර්ශ්වය අධිකරණයට කරුණු වසන් කර අසත්‍ය කරුණු ඉදිරිපත් කර ඇති බවය.

එසේ නොකළේ නම් අදාළ අතුරු තහනම් නියෝගය නිකුත් නොකරනු ඇති බව ද ඒ මහතා සඳහන් කළේය. කෙසේ වුවද එම අතුරු තහනම් නියෝගය බලපවත්වන කාලය අවසන් වන බැවින් දීර්ඝ කිරීමට අතුරු තහනම් නියෝගයක් නැති බව ඒ මහතා කීය.

පෙත්සම සලකා බැලීමට පත් කළ නව විනිසුරු මඬුල්ල අලුතින්ම කරුණු සලකා බලා අතුරු තහනම් නියෝග සම්බන්ධයෙන් තීරණ ගනු ඇති බව ඒ මහතා සඳහන් කළේය.

දැනට නිකුත් කර තිබෙන අතුරු තහනම් නියෝගය දීර්ඝ කිරීමට නව විනිසුරු මඬුල්ලට හැකියාවක් නැති බව අදාළ පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් මිලින්ද ගුණතිලක මහතා එහිදී සඳහන් කළේය.

කරුණු සලකා බැලූ විනිසුරුවරයා පෙත්සම් ලබන 20 වැනි සඳුදා කැඳවීමට තීරණය කළේය.

කෙසේ වුවද ඊට පෙර විනිසුරු මඬුල්ල රැස්වීම සම්බන්ධයෙන් ඇති ප්‍රායෝගික දුෂ්කරතා සැලකිල්ලට ගෙන මෙම පෙත්සම එදින සලකා බලන තෙක් පමණක් ක්‍රිකට් අතුරු පාලක කමිටුව පත් කරමින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග නොගන්නා බවට ක්‍රීඩා ඇමැතිවරයාගේ නීතිඥවරයා විසින් අධිකරණය හමුවේ එකඟතාව පළ කරන ලදි.

සියලු කරුණු සලකා බැලීමෙන් පසුව අදාළ පෙත්සම ලබන සඳුදා කැඳවීමට නියම විය.

අදාළ පෙත්සම් විභාගයෙන් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා සහ අභියාචනාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල යන මහත්වරු මීට පෙර ඉවත් වූහ.

ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ, එම අමාත්‍යාංශ ලේකම්වරයා, නව අතුරු කමිටු සාමාජිකයන් වන විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්.අයි. ඉමාම්, රෝහිණී මාරසිංහ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා, හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග, එච්.කේ. උපාලි ධර්මදාස, නීතිඥ රඛිත නිර්මල රාජපක්ෂ, එම්.එච්. ජමාල්ඩීන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහි වගඋත්තරකරුවෝ වෙති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT