ශ්‍රී ලංකාවේ ආර්ථිකය පුනර්ජීවනය කිරීමට සහ අනාගත ආර්ථික සහයෝගිතා සඳහා තීරණ ගැනීමේ ක්‍රියාවලීන් වැඩිදියුණු කිරීමට දරන ප්‍රයත්නයේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හවුල්කරුවා ලෙස ඉන්දියාව මතුව ඇතැයි ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ දේශනය සිදු කරමින් කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාද් උපාධි ආයතනයේ මහාචාර්ය ධනංජය ගම්ලත් මහතා පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (16) කොළඹ පදනම් ආයතනයේ පැවති ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ දේශනය සිදු කරමිනි.
උත්සවයේ මුලසුන හෙබවූයේ කොටුව සම්බුද්ධාලෝක විහාරාධිපති මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්දසර නාහිමියෝ විසිනි.
උත්සවය ආරම්භ වූයේ සම්භාවනීය අමුත්තන් විසින් සම්ප්‍රදායානුකූල පොල්තෙල් පහන් සිල දැල්වීමෙනි.
අනතුරුව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඩී. ඒ. රාජපක්ෂ ශ්‍රීමතාණන්ගේ පිළිරුවට මල්මාලාවක් පලඳවා පුෂ්පෝපහාර සිදු කෙරිණි.
පසුව උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා විසින් පිළිරුවට මල් කළඹක් තබා පුෂ්පෝපහාර සිදු කෙරිණි.
ඩී.ඒ. රාජපක්ෂ ගුණ සමරු ගීතය බෙලිඅත්ත පලපොත මහා විද්‍යාලයේ දියණියන් විසින් ගායනා කරන ලදි.
පිළිගැනීමේ කතාව සිදු කරන ලද්දේ අගනුවර ඩී. ඒ. රාජපක්ෂ ගුණ සමරු කමිටුවේ සභාපති ජී. ඒ. ඩබ්ලිව්. සමරසිංහ මහතා විසිනි.
පූර්ණිකාව සිදු කරන ලද්දේ කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නීතිවේදී සංජීව පතිරණ මහතා විසිනි.
මෙවර පැවැත්වූවේ ඩී. ඒ. රාජපක්ෂ ශ්‍රීමතාණන්ගේ පනස්හයවෙනි (56) ගුණ සමරුවයි.
සමරු දේශනයේ මාතෘකාව වූයේ ‘ඉන්දු ශ්‍රී ලංකා සබඳතා ප්‍රාග් ඓතිහාසික, පූර්ව ඓතිහාසික සහ ඓතිහාසික යුගයේ ආරම්භය දක්වා’ යන්නයි.
දේශනය පැවැත්වීම සඳහා හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා විසින් මහාචාර්ය දනන්ජය ගම්ලත් මහතාට පදක්කමක් පලඳවා ආරාධනා කරන ලදි.
ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ දේශනය සිදු කරමින් කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාද් උපාධි ආයතනයේ මහාචාර්ය දනන්ජය ගම්ලත් මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.
වසර 5000කට ප්‍රථම ආසියානු කලාපයේ තිබූ අවසාන අයිස් යුගයේ නිමාවත් සමඟම ශ්‍රී ලංකාවත් ඉන්දියානු අර්ධද්වීපයත් අතර පැවත එමින් තිබූ ගොඩබිම් ගමනාගමනය නතර විය. අයිස් දියවී සාගර ජල මට්ටම ඉහළට පැමිණීමත් සමඟම දෙරට අතර ගොඩබිම් මාර්ගය වශයෙන් පැවති රාමසේතු පාලම ජලයෙන් වැසී ගියේය. මෙම පාලමට අදාළ භූ භෞතික සාක්ෂි නාසා ආයතනයේ පර්යේෂණ මඟින් හෙළිදරව් කොට ගෙන තිබේ.
ඒ දක්වා තනි භූමියක් වශයෙන් පැවති දෙරටේ සබඳතාවයට තිබෙන ප්‍රබල සාක්ෂි වශයෙන් හිපපොටේමස්, සිංහයා, ව්‍යාඝ්‍රයා, මැමතා, ගවරා සහ රයිනෝසිරස් වැනි විශාල ඉන්දීය සත්ත්වයන්ගේ පාෂාණභූත අස්ථි කොටස් රත්නපුරයේ මැණික් පතල් කැණීම්වලින් අහම්බෙන් සොයාගෙන තිබීම සඳහන් කළ හැකිය. මේ සත්ත්වයින් එවකට දෙරටේම වාසය කර තිබෙන නමුදු පෝක් සමුද්‍රසන්ධිය නිර්මාණය වීමත් සමඟ ඩෙකෑනයෙන් ශ්‍රී ලංකාව වෙන්වූ පසු සංක්‍රමණය වී සිටි සත්ත්වයින් මෙන්ම මනුෂ්‍යයන් ද ශ්‍රී ලංකා භූමිය තුළට සීමා විය. පසුව වසර 4000 – 3500 අතර කාලවකවානුවකදී ශ්‍රී ලංකාවේ දේශීය යක්ෂ ගෝත්‍රික පාලකයාව සිටි රාවණා චරිතාපදානයට අදාළව ලිඛිත මූලාශ්‍රය සහ පුරාවිද්‍යා සාධක තවත් බොහෝ පසුකාලයකට අයත් එනම් ක්‍රිස්තු වර්ෂ 3 වැනි සියවස සිට ඉන්දියාවේ ආගමික පුරාවිද්‍යා ස්ථානවල හින්දු දේව චරිතාපදාන සමඟ කැටයම් සහ ප්‍රතිමාවලින් නිරූපණය කර තිබීම ද දෙරටේ සබඳතාවය කියාපාන තවත් වැදගත් සාධකයකි. හින්දු ඉන්දියානුවන් රාවණ චරිතාපදානය ශිව දේව සංකල්පය සමඟ එක්ව අදහනු ලැබූ බවට ක්‍රිස්තු වර්ෂ 4 – 5 වන සියවසට අයත් එල්ලෝරා කැටයම් සාක්ෂි දරයි. වසර 3000 සිට ක්‍රි.පූ. 300 දක්වා කාලවකවානුවට අයත්වන මෙගලිතික සුසාන හෙවත් ගල්සොහොන්වල මිහිදන්ව සිටින ජනතාව ශ්‍රී ලංකාවේ පූර්ව ඓතිහාසික සහ මූල ඓතිහාසික සමයේ ජීවත්වූ මිනිසුන් වෙති. මෙලෙසම ඩෙකෑනයේ ද ගල් සොහොන්වල මැටි භරණී තුළ බහා මියගිය අයගේ අස්ථි කොටස් සහ භාවිත කළ ද්‍රව්‍ය මිහිදන් කිරීමේ පුරුද්ද ශ්‍රී ලංකාවට සමකාලීනවම ක්‍රියාත්මකව තිබූ බවට ප්‍රකට පුරාවිද්‍යා සාධක ලැබී තිබේ. මෙලෙස දෙරටේම එකම කාලවකවානුවකදී එකම ආකාරයකට මළවුන් මිහිදන් කිරීමේ ක්‍රියාවලිය සිදුවී තිබීම යනු දෙරටේ සමාජයීය හරස් සංස්කෘතික සබඳතාවල ප්‍රතිඵලයකි. ශිරාන් දැරණියගල විසින් කරනු ලැබූ පර්යේෂණවල දී ශ්‍රී ලංකාවේ අනුරාධපුර, පොම්පරිප්පු, කන්තරොදෙයි, ඉබ්බන්කට්ටුව යන ප්‍රදේශවල සිදු කරන ලද පුරාවිද්‍යා පර්යේෂණ පදනම් කර ගනිමින් යකඩ යුගය සහ මුල් කාලයට අයත් දකුණු ඉන්දියාවේ මෙගලිතික සහ අරිකමේඩු මාදිලියේ මැටි බඳුන් හමුව තිබීමෙන් ඉන්දියානු ශ්‍රී ලංකා සබඳතාවයේ දිගු ඉතිහාසය පිළිබඳව තොරතුරු හෙළිදරව් කර ඇත.
ක්‍රිස්තු පූර්ව 5 වන සියවස සිට ක්‍රිස්තු පූර්ව 1 වන සියවස දක්වා වූ කාලය තුළ ශ්‍රී ලංකාවේ ව්‍යවහාරික පළමු මුදල් ඒකකය ලෙස පිළිගැනෙන රිදී හස් එබූ කහාපණ කාසිය එහි ඇතුළත්ව තිබෙන සලකුණුවලිනුත් කාසිය සකස් කර ඇති අමුද්‍රව්‍ය සහ ඒවායේ බර මෙන්ම නිෂ්පාදිත තාක්ෂණයෙන් ද ඉන්දියානු හස් එබූ කහාපණයට අතිශියින් ම සමානය. පුරාවිද්‍යාඥයින් විශ්වාසය පළ කරන්නේ මෙම කාසි ක්‍රිස්තු පූර්ව 5 වන සියවස සිට තවත් සියවස් දෙකක් හෝ 3ක් ගතවන තුරුම මෙරටට ඉන්දියාවෙන් ගෙන්වා ව්‍යවහාරයේ යොදවා ඇති බවය.
ක්‍රිස්තු පූර්ව 3000 – 2000 පමණ කාලයක සිට ඉන්දියානුවන් සකපෝරුව භාවිතයෙන් මැටි නිෂ්පාදන තාක්ෂණය දැන සිටි බවට ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් පුරාවිද්‍යාත්මක සාක්ෂි ලැබී ඇත. ශ්‍රී ලංකාව තුළ ක්‍රිස්තු පූර්ව 1200 – 1100 අතර කාලය තුළට අයත් පින්තාරු කරන ලද මැටි භාජන හමුවූ ඇඹිලිපිටියේ උඩ රංචමඩම කැණීමේ පාංශු ස්ථරයෙන් එම තාක්ෂණයම හඳුනාගෙන ඇත. එබැවින් සකපෝරුවේ මැටි වළං නිෂ්පාදන තාක්ෂණය ඉන්දියාවෙන් මෙරටට ලැබුණු හරස් සංස්කෘතික දායාදයකි.
පොදු ජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා විසින් ස්තුති කතාව සිදු කරන ලදි.
මේ අවස්ථාවට මහා සංඝරත්නය, අනෙකුත් ආගමික නායකයින්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ, ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු මැති ඇමැතිවරුන්, රාජපක්ෂ අනුස්මරණ අධ්‍යාපනික සංස්කෘතික හා සමාජ සේවා පදනමේ සභාපති, හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා, පදනමේ ලේකම් උපාලි ගමගේ මහතා, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ රාජපක්ෂ පවුලේ ඥාති මිත්‍රාදීන්, ආණ්ඩුකාරවරු, දේශපාලනඥයින්, විදෙස් තානාපතිවරු ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයෝ, ආරාධිතයෝ, ප්‍රභූවරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
ඡායාරූපය – සුදත් නිශාන්ත