පොලොන්නරුව ජඹුරේවෙල උප තැපැල් කාර්යාලය සතුව තිබූ රුපියල් 4,153,136ක පමණ ආදායම් හුවමාරු මුදල් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටින ජඹුරේවෙල උප තැපැල් කාර්යාලයේ උප තැපැල් ස්ථානාධිපතිනිය සහ එම මූල්‍ය වංචාවට ආධාර අනුබල දුන් බව කියන සැකකාරිය ඕනෑම ඇප කොන්දේසියක් මත මුදාහරින ලෙස නීතිඥයන් කළ ඉල්ලීමක් හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් උදුම්බරා දිසානායක මහත්මිය ප්‍රතික්ෂේප කළාය.
ඒ අනුව සැකකාරියන් දෙදෙනා තවදුරටත් මේ මස 29 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙසට ද නියෝග කළ මහේස්ත්‍රාත්වරිය මෙම මූල්‍ය වංචාවට සම්බන්ධ අනෙකුත් සැකකරුවන්ද වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට පොලොන්නරුව විශේෂ අපරාධ විමර්ශන අංශයට නියෝග කළාය.
මෙසේ යළි රිමාන්ඩ් කෙරුණේ පොලොන්නරුව ජඹුරේවෙල උප තැපැල් කාර්යාලයේ උප තැපැල් ස්ථානාධිපතිනිය වන පොලොන්නරුව අත්තනකඩවල රදලිගේඔය අංක 507/690 ඒ ලිපිනයේ එන්.පී. චිත්‍රා කුමාරි මැණිකේ සහ පොලොන්නරුව අත්තනකඩවල මඩුදමන අංක 508/575 ලිපිනයේ පී. සමන්ති වීරසිංහ යන සැකකාරියන්ය.
සැකකාරියන් අධිකරණයට ඉදිරිපත් කරමින් පොලොන්නරුව විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එස්. වීරතුංග මහතා සිය මූලික කරුණු දැක්වීම්වලදී පැවසුවේ ජඹුරේවෙල උප තැපැල් කාර්යාලය සතුව තිබූ රුපියල් 4,153,136ක පමණ ආදායම් සහ හුවමාරු මුදල් පළමු සැකකාරිය විසින් ඉතා සූක්ෂ්මව වංචා කර ඇති බවට මූලික විමර්ශනවලදී හෙළි වූ බවයි. දෙවන සැකකාරිය එම මූල්‍ය වංචාවට ආධාර අනුබල දී ඇති බව ද අධිකරණයට කියා සිටි ස්ථානාධිපති වීරතුංග මහතා මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන තවමත් අවසන්ව නැති නිසා සැකකාරියන් රිමාන්ඩ් කරන ලෙසත් ඉල්ලා සිටියේය.
පළමු සැකකාර උප තැපැල් ස්ථානාධිපතිනිය මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් චෝදනා ලබා කලක් පොලිසිය සහ අධිකරණය මඟහැර සිටීම හේතුවෙන් ඇය විදේශත වනු ඇති බවට ඇති වූ සැකය මත ඇයට විදේශගත වීම වළක්වාලමින් හිඟුරුක්ගොඩ මහේස්ත්‍රාත් උදුම්බරා දිසානායක මහත්මිය විසින් කටුනායක සහ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළවල ආගමන විගමන පාලකරුවන්ට තහනම් නියෝග දෙකක් මීට පෙර නිකුත් කරනු ලැබුවාය.
පොලොන්නරුව තැපැල් අධිකාරි බී. ඒ. සරත් කුමාර ජයසේකර මහතා පොලොන්නරුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට කරන ලද පැමිණිල්ලකට අනුව මූලික විමර්ශන මෙහෙයවා මෙම සැකකාරියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. පැමිණිල්ල වෙනුවෙන් පොලොන්නරුව කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එස්. වීරතුංග මහතා පෙනී සිටි අතර සැකකාරියන් වෙනුවෙන් නීතිඥ රනිල් වීරසේකර මහතා සමඟ නීතිඥ සමිතා ජයසේකර මහත්මිය පෙනී සිටියාය. පොලොන්නරුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වා මහතාගේ උපදෙස් මත පොලොන්නරුව විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එස්. වීරතුංග මහතාගේ මෙහෙයවීම මත මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.