Home » අවධානයක් නැතිව ආ තරුණයා රේල් පාරට අඩිය තියනවාත් එක්කම දුම්රියේ හැපුණා
කොග්ගල කලාපය ඉදිරිපිටදී තරුණයකු දුම්රියේ ගැටී මිය යෑම:

අවධානයක් නැතිව ආ තරුණයා රේල් පාරට අඩිය තියනවාත් එක්කම දුම්රියේ හැපුණා

by mahesh
November 17, 2023 12:58 am 0 comment

දකුණු පළාත් සංචාරක - එස්. දීයගහගේ

“කොග්ගල නිදහස් වෙළෙඳ කලාපය ඉදිරිපිට ප්‍රධාන දුම්රිය හරස් ගේට්ටුවට මීටර් පහක් පමණ දුරින් මම දුම්රියේ නළාව සද්ද කරමින් ඉදිරියට ගියා. එතකොට මිය ගිය තරුණයා සාමාන්‍ය ගමනින් දුම්රිය ගැන නොතකා දුම්රිය මාර්ගයට ඇතුළු වෙනවාත් එක්කම දුම්රියේ හැපුණා.” යැයි කොග්ගල නිදහස් වෙළෙඳ කලාපය ඉදිරිපිටදී දුම්රියේ හැපී මරණයට පත් තරුණයාගේ මරණ පරීක්ෂණයේදී සාක්ෂි දුන් අනතුරට සම්බන්ධ දුම්රියේ රියැදුරු කාහිංගලගේ ගයාන් ධම්මික (41) මහතා පැවැසීය. මෙසේ මියගොස් ඇත්තේ හබරාදුව, පිටිදූව පදිංචිව සිටි කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයේ බෝට්ටු නිෂ්පාදනය කරන කම්හලක සේවකයකු වන කන්දගේ නිපුන් කල්හාර නමැති 19 හැවිරිදි තරුණයෙකි. මේ පිළිබඳ මරණ පරීක්ෂණය හබරාදුව හදිසි මරණ පරීක්ෂක එම්. ජී. ගීතා චතුරානි මහත්මිය කරාපිටිය ශික්ෂණ රෝහලේදී පැවැත්වූවාය.

එහිදී වැඩිදුරටත් සාක්ෂි දුන් දුම්රියේ රියැදුරු මෙලෙස ද කීවේය.

“උදේ හතට ගාල්ල දුම්රිය ස්ථානයේ ඉඳලා මේ මන්දගාමී දුම්රිය මාතර බලා පිටත් වුණා. මම එහි රියැදුරු ලෙස කටයුතු කළා. හබරාදුව දුම්රිය ස්ථානයට පැමිණ හතයි තිහට නැවත පිටත් වුණා. කොග්ගල නිදහස් වෙළෙඳ කලාපය ඉදිරිපිට ප්‍රධාන දුම්රිය හරස් ගේට්ටුව නිසි පරිදි වසා තිබුණා. අනතුරු සංඥාත් ක්‍රියාත්මක වෙමින් තිබුණා. මීටර් පහක් විතර දුරදී මම දුම්රියේ නළාව සද්ද කළා. එතකොට මිය ගිය තරුණයා සාමාන්‍ය ගමනින් දුම්රිය ගැන නොතකා දුම්රිය මාර්ගයට ඇතුළු වෙනවාත් එක්කම ඔහු දුම්රියේ හැපුණා. මම දුම්රියේ තිරිංග තද කළා. දුම්රිය මීටර් පනහක් විතර ඉදිරියට ගොස් නතර වුණා.

දුම්රිය නියාමක කුමාර මහතා මළසිරුර ගිලන් ඇඳේ තබා ගෙනැවිත් දුම්රියේ තැබුවා. කොග්ගල දුම්රිය ස්ථානයට මළසිරුර භාරදී නැවත දුම්රිය මාතර බලා ගමන් ආරම්භ කළා. මිය ගිය තරුණයාගේ අතේ යමක් තියෙනවා දැක්කා. ඒත් එය පැහැදිලිව පෙනුණේ නෑ.”

මිය ගිය තරුණයාගේ මව වන ජෝතිරත්න වැල්ලඹ ගණිතගේ සඳමාලි (40) සාක්ෂි දෙමින් මෙලෙස කීවාය.

“මිය ගිහින් ඉන්නේ මගේ දෙවැනි පුතා. කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයේ බෝට්ටු නිෂ්පාදනය කරන කම්හලක පුතා රස්සාව කළා. පුතා ගෙදර ඉඳලා රස්සාවට ගියා. මත්පැන් කිසිම දෙයක් බොන්නේ නෑ. පුතා ගෙදර ඉන්න කොට නිතරම ඉයර් ෆෝන් එක කනේ ගහගෙන සිංදු අහනවා. රෑ නින්දට යනකොටත් ඉයර් ෆෝන් එක කනේ ගහගෙන ඉන්නවා. සමහර දවස්වල ඉයර් ෆෝන් එක කනේ ගසාගෙනම නිදා ගන්නවා. එතකොට මම ඉයර් ෆෝන් එක ගලවනවා. අදත් ඉයර් ෆෝන් එක කනේ ගහගෙන යනකොට පුතා කෝච්චියේ හැපෙන්න ඇති.”

මේ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී යූ. සී. පී. පී. පෙරේරා මහතා දුම්රියේ හැපීමෙන් සිදු වූ බහුවිධ තුවාලවලින් මේ මරණය සිදුවී ඇතැයි වාර්තා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT