Home » දේශපාලනය-ආර්ථිකය ස්ථාවර කර වර්ධනය කරා ගමන් කරන විට ඊට එරෙහි වන්නේ ඇයි?

දේශපාලනය-ආර්ථිකය ස්ථාවර කර වර්ධනය කරා ගමන් කරන විට ඊට එරෙහි වන්නේ ඇයි?

by mahesh
November 17, 2023 1:00 am 0 comment

දේශපාලන ස්ථාවරත්වය ඇති කර, ආර්ථිකය ස්ථාවර කර, වර්ධනය කරා ගමන් කරමින් සිටියදී, ඊට එරෙහි වන්නේ ඇයි දැයි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (16) විපක්ෂයෙන් ප්‍රශ්න කර සිටියේය.

රාජ්‍ය සේවය ආරක්ෂා කිරීමට වැටුප වැඩි කර ඇති බව පැවසූ ඔහු, සමාජ ආරක්ෂක දැල සුරක්ෂිත කිරීමට තුන් ආකාරයක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා. අමාරුවෙන් ජීවත් වන ජනතාවට නිශ්චිත සහයෝගයන් ලබාදී තිබියදී අය-වැය ලේඛනයෙන් කිසිවක් නොලැබුණා සේ අදහස් පළ කරන්නේ ඇයි?

පාසල් හැරයන සියලු දෙනා තාක්ෂණික හා කාර්මික දැනුමින් සහ පුහුණුවෙන් යුත් පරම්පරාවක් බවට පත් කිරීමට 2024දී රට පුරා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම ආරම්භ කරනවා. එමෙන්ම ආයෝජනයේ ඉබි ගමන නතර කළ යුතු බව පැවසූ ඔහු, ඊට අදාළ ආයතන තුනම එකක් බවට පත් කිරීමේ අය වැය යෝජනාව අනුව ශ්‍රී ලංකාවේ සැම ආසනයකම නව ව්‍යාපාර ආරම්භ කිරීමේ වැඩපිළිවෙළක් 2024 වසරේදී ආරම්භ කරනවා. අය-වැයේ අන්තර්ගත මෙම යෝජනාවලට සහයෝගය දෙන්නැයි විපක්ෂයෙන් ඉල්ලා සිටි ඔහු, සැකය මත තීරණ ගන්න කාලය අවසන් කරන්න යැයි වැඩිදුරටත් කීය.

ආර්ථිකයේ නව දොරටු විවෘත නොකර ආර්ථිකය වර්ධනය කළ නොහැකියි. උඩරට ජනතාවගෙන් සුදු අධිරාජ්‍යවාදීන් උදුරාගත් ඉඩම් නැවත ලබාදීම සම්බන්ධයෙන්ද අය-වැයේ යෝජනා ඇතුළත්. මෙම ඉඩම් ප්‍රතිසංස්කරණයෙන් එම ගම්මාන දියුණු කිරීමට අපේක්ෂා කරනවා.කිසිදු වගාවක් නොකර ඇති වතුවලට අයත් අක්කර දහස් ගණනක ඉඩම් වගාවට යොදා ගැනීමට මේ අනුව හැකියාව ලැබෙනවා. කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත වර්ධනය කිරීමට වැඩපිළිවෙළක් මේ අය-වැයෙන් හඳුන්වා දී තිබෙනවා. නාගරිකව තට්ටු නිවාසවල ජිවත්වන්නන්ට දී ඇති සහනය, මෑත ඉතිහාසයේ නොදුන් සහනයක්.

මුදල් ඇමැති හැටියට ජනාධිපතිතුමා අය-වැය ඉදිරිපත් කිරීමෙන් පසු මෙම විවාදයට සහභාගී වීමට හැකි වීම මා විශේෂයෙන් අගමැති හැටියට අගය කරනවා. ශ්‍රී ලංකාව පසුගිය කාල පරිච්ඡේදයේ මුහුණ දුන්න අමාරු මූල්‍ය හා ආර්ථික කඩා වැටීම මේ සභාවේ කවුරුත් පිළිගන්නවා. ඒ වගේම රට වැසියාත් පිළිගන්නවා. ඒ නිසාම ඇතිවුණු අර්බුදය හමුවේ අපේ ආණ්ඩු වෙනසකට භාජනය වුණා, පාර්ලිමේන්තුව සමඟ.

දේශපාලන ස්ථාවරභාවය ඇති කරලා තිබෙනවා. ආර්ථික ස්ථාවරභාවය ඇති කරලා තිබෙනවා. එයට සම්බන්ධ ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය සේවා අංශ රාශියක් වෙනදා වගේම කටයුතු කරන්න පුළුවන් තත්ත්වයට දේශීය හා විදේශීක හුවමාරු සිදු වෙමින් ආර්ථික වර්ධනයක් සිදු වෙනවා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT