Home » අධ්‍යාපන, ආර්ථික, සෞඛ්‍ය සහනාධාර ජනතාවට ලබා දෙන්න ට්‍රිලියනයක් වෙන් කර තිබෙනවා

අධ්‍යාපන, ආර්ථික, සෞඛ්‍ය සහනාධාර ජනතාවට ලබා දෙන්න ට්‍රිලියනයක් වෙන් කර තිබෙනවා

by mahesh
November 17, 2023 1:00 am 0 comment

අධ්‍යාපනයේ, ආර්ථිකයේ, සෞඛ්‍යයයේ සහනාධාර ජනතාවට ලබාදීම සඳහා රුපියල් ට්‍රිලියනයක මුදලක් මෙවර අය වැයෙන් වෙන් කර ඇතැයි සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (16) පැවසීය.

අය වැය දෙවැනි වර කියවීමේ තෙවැනි දින විවාදයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.

ඇමැතිවරයා මෙසේද පැවසීය.

බදු ආදායම් වැඩි කළා මෙන්ම අඩු ආදායම්ලාභී ජනතාවට සහනාධාර ලබාදීමට ද අය වැයෙන් යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.

රටේ ස්ථාවරභාවයට සමාජ දේශපාලන ස්ථාවරභාවයත් ඉතාම වැදගත්. ආදායම් හා වියදම් පිළිබඳ ප්‍රධාන කාරණාවට ඕනෑම ආණ්ඩුවකට මුහුණ දීමට සිදු වෙනවා. රටෙන් බදු අය කරලා රාජ්‍ය සේවකයන්ට පමණක් වැටුප් වැඩි කර ඇති බව අශෝක් අබේසිංහ මහතා පවසනවා. පසුගිය ආණ්ඩුව බදු කපා හැරීම නිසා තමයි රට මේ තත්ත්වයට ඇද වැටුණේ. එය නිවැරදි කළ යුතුයි. රටේ ජනතාවට, වෘත්තිකයන්ට පීඩනයක් එල්ල වීම ගැටලුවක්. බදු බරක් පැටවී තිබෙනවා. බදු ආදායම් වැඩි කර නොගෙන ජනතාවට සහන සැලසිය නොහැකියි. ලංකාව සුබසාධන රාජ්‍යයක් විදියට පවතිනවා. එය වර්තමානයේ වෙනස් වෙලා නැහැ. වෙනස් කිරීමට හැකියාවකුත් නැහැ. ඒ නිසා තමයි වත්මන් ජනාධිපතිවරයා වුණත් බදු ආදායම් වැඩි කර ගන්නා ගමන් අඩු ආදායම්ලාභී ජනතාවට අය වැය සහන ලබාදීමට වෙන් කර තිබෙන්නේ. අස්වැසුම වෙනුවෙන් රුපියල් බිලියන 180ක් වෙන් කර තිබෙනවා. පසුගිය වසරේ සමෘද්ධිය ලබාදුන්නා වගේ දෙගුණයක මුදලක්. වැඩිහිටියන් වෙනුවෙන් රුපියල් බිලියන 6ක්. වකුගඩු රෝගීන්ට රුපියල් බිලියන 8ක් ලෙස වෙන් කර තිබෙනවා.

පීඩනයට පත් වන අය ආරක්ෂා කළ යුතුයි. අඩු ආදායම්ලාභී පිරිස් වෙනුවෙන් සහන දෙන්න අවධානයක් අය වැයෙන් යොමු කර තිබෙනවා. රේගු, සුරාබදු, දේශීය ආදායම් බදු කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්විය යුතුයි. මේ දෙපාර්තමේන්තුවල බදු එකතු කිරීමේදී අඩුපාඩු බොහොමයක් තිබෙනවා. මේවායේ පුද්ගල සම්බන්ධතා අඩු කර තාක්ෂණය යොදා ගනිමින් බදු අය කර ගැනීම් වෙත යොමු විය යුතුයි. ආනයන තහනමක් පසුගිය කාලයේ තිබුණා. නමුත් තහනම් කළ භාණ්ඩ වෙළඳපොළේ තිබුණේ. එම භාණ්ඩයන් වෙළෙඳපොළට පැමිණියේ බෝට්ටුවලින් නොවේ. රේගුවෙන් තමයි ඒ භාණ්ඩ පැමිණියේ. මේවා සොයා බැලිය යුතුයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය විනාශ කිරීමට නිලධාරීන් පසුගිය කාලයේ කටයුතු කළා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT