පොල් වගාව, අපනයනය ඉලක්ක කරගත් වැවිලි භෝගයක් ලෙස නම් කරන්නැයි පොල් වගාකරුවන්ගේ සංගමය කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතාගෙන් ඉල්ලීමක් කර ඇත. පොල් අපනයනය කළද, තවමත් පොල් අපනයන වැවිලි භෝගයක් ලෙස නොසැලකීම නිසා මෙම ක්ෂේත්රයේ ගැටලු රැසක් මතු වී ඇති බව ද එම සංගමය ඇමැතිවරයාට පෙන්වා දී තිබේ. පොල් වගාව හා අපනයනය මෙන්ම දේශීය පොල් පරිභෝජනය සම්බන්ධව පොල් වගාකරුවන්ගේ සංගමය පසුගිය 14දා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැතිවරයා සමඟ පැවැති සාකච්ඡාවකදී මේ ඉල්ලීම කර ඇත.
මෙරට වගා කරන භෝගයන් අතරින් පසුගිය වසර 10 තුළ වගා කරන බිම් ප්‍රමාණය අඛණ්ඩව ඉහළ ගොස් තිබෙන්නේ පොල් වගාවෙන් පමණි. ඒ අනුව පසුගිය වසර දහය තුළ අලුතින් පොල් අක්කර ලක්ෂයක් වගා කර තිබේ. දැනට අපේ රටේ දෛනික අවශ්‍යතාව පොල් මිලියන 4.8ක් වුවද මෙරට දෛනික පොල් නිෂ්පාදනය මිලියන 03කි. ඒ නිසා පොල්වල හිඟයක් පැවතියත් සමස්ත පොල් අස්වැන්නෙන් සියයට 75ක් දේශීය පරිභෝජනයට යොදා ගන්නා අතර, ඉතිරි සියයට 25 අපනයනය කරයි.
පොල් අපනයනය මඟින් උපයන වාර්ෂික ආදායම ඩොලර් මිලියන 850කි. මේ අපනයන ආදායම ඩොලර් බිලියන 02ක් දක්වා ඉහළ නැංවීමට නම් පොල්, අපනයනය ඉලක්ක කර ගත් වැවිලි භෝගයක් ලෙස නම් කළ යුතුව ඇතැයිද එම සංගම් නියෝජිතයන් ඇමැතිවරයාට මේ සාකච්ඡාවේදී පෙන්වා දී ඇත.
තවමත් දිනෙන් දින ජාත්‍යන්තර වෙළෙඳපොළේ පොල් සම්බන්ධ පවතින ඉල්ලුම ඉහළ යමින් පවතින නිසාත්, අපේ රටේ පොල් ගුණාත්මක භාවයෙන් ඉහළ නිසාත් තවමත් ඉහළ ඉල්ලුමක් පවතින බව පොල් වගාකරුවන්ගේ සංගමය අවධාරණය කර තිබේ. එමෙන්ම පොල් මිල සංශෝධනය කරන්නේ නම් ඒ සම්බන්ධව පොල් කර්මාන්තකරුවන් සමඟ සාකච්ඡා කර මිල සංශෝධනය කිරීමට මහා භාණ්ඩාගාරය සමඟ එකඟතාවකට එන ලෙසත් එම සංගමය ඇමැතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. මේ සාකච්ඡාවට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති මහතා ඇතුළු පිරිසක් එක්වූහ.