ගෙදරින් පාසලට යන දුව, පුතා යළි නිෙවසට එන්නේ පෙට්ටියේ නම්, ඉස්පිරිතාල වටේට මල් ශාලා තිබෙනාකාරයට, ඉස්කෝල අවට ද මල් ශාලා විවෘත කළ හැක්කේය. වැල්ලම්පිටිය වෙහෙරගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ ජල කරාමය සවිකර තිබූ කොන්ක්‍රීට් කණුව ඇඟට කඩා වැටීමෙන් මිලින වූ සෙහන්සා තත්සරණි නම් සය හැවිරිදි ‘මල’ ගැන අපි තීන්දු දෙන්නට යන්නේ නැත. මීට පෙර අවස්ථාවක ගංගොඩවිල ජනාධිපති කනිෂ්ඨ විද්‍යාලයේ දරුවෙක්, පාසල් මායිමේ පිහිටි තාප්පයක් කඩා වැටී එයට යටවිය. දැන් පළමුව කළ යුත්තේ අපේ කැකුළන්ගේ ජීවිත ආරක්ෂාව සඳහා පාසල් ආරක්‍ෂිත ආකාරයෙන් පවත්වාගෙන යෑමය. පාසල් වැඩ සතියක් වහා ප්‍රකාශයට පත් කර වහාම එවන් ස්ථාන හඳුනාගෙන, ඒ සඳහා පිළියම් සිදු කිරීමේ ඇක්ෂන් ප්ලෑන් එකකට යන මෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට, මේ තීරුව අවධාරණය කරයි. දරුවන් අනාරක්ෂිත සමාජයක් වනාහි ව්‍යසනයක් මිස ජීවත්විය හැකි ස්ථානයක් නොවේ.
ළමා නිවාසයක, බෝඩිමක නොව, අම්මා තාත්තා නැතිව නෑ ගෙදරක හෝ දරුවකු, වරුවක් නැවැත්වීමට වර්තමාන මවු පිය සමාජය කැමැත්තේ නැත. එහෙව් අත්දැකීම් සහිත අප පෙරළා කල්පනා කළ යුත්තේ මේ සමාජය එවන් ගෝත්‍රික තත්ත්වයකින් මුදා ගන්නේ කවදාද යන්නය.
“ලොකු මිනිස්සු පුංචි දේවල් ගැන මේ විදියට හරිම ලේසියෙන් රණ්ඩු කරගන්නවා ඇති කියලා මීට කලින් කවදාවත්ම මම හිතලා තිබුණේ නැහැ. මම හිතුවේ හැම වෙලාවේම රණ්ඩු වෙන එක පුංචි අයගේ සිරිතක් කියලයි”.-
1942 සැප්තැම්බර් 28 දාතම සහිත ‘ඇගේ දින පොතේ’ ඈන් ෆ්‍රෑන්ක් නම් දහතුන් හැවිරිදි කෙළි පොඩිත්තිය එසේ සටහන් කළාය. පුංචි ඈයන්ගේ සිරිත් විරිත් සියල්ල ළමා ගතිය වෙද්දී ඒවායේ වධක ස්වරූපය ඉහට ගෙන ලොකු එවුවෝ දැන් රඟනා ආකාරය සමාජයක් ලෙස අප හෙම්බත් කර අවසානය.
අවුට්ස්විට්ස්, බර්ගන්-බෙල්සන් සිර කඳවුරුවලට රැගෙන ඈන් සහ ඇයගේ සොහොයුරිය 1945 පෙබරවාරියේ නිරාහාරව මිය ගියහ. යුද තත්ත්වයක, වධ කඳවුරක ගාල් කළ කල්හි එවන් විපත් ස්වාභාවිකය. යුද්ධයක් නොමැති සමාජයක අපේ දරුවෝ අවුලට පත්ව ඇත්තේ සමාජය තුළ ඇති අනාරක්ෂිතභාවය හේතුවෙනි. ළඟම නෑකමක් ඇති වැඩිහිටි පිරිමියෙකුගේ උකුලේ අවුරුදු පහ හය පැන්න දැරියක් වාඩි නොකිරීමට මවුපියෝ වග බලාගෙන ඇත්තේ මේ ‘අන්ෂුවර්’ ගතිය නිසාය. අතොරක් නැති අතවර කතා අසන කාලයක ‘එහෙම රිස්ක් එකක්’ සමාජය නොගැනීම සාධාරණය.
ඒවා මානසික වශයෙන් අවුල් වූ සමාජයක පැතිකඩයන්ය. මේවා සයිඩ් කණ්ණාඩියෙන් බැලූ කල්හි නවතා ගත හැකි අනතුරුය. වාහනයක පැති කණ්ණාඩි ඇත්තේ දෙපැත්ත බලා පාරේ යෑමටය. නිවැරදි ආකාරයෙන් සයිඩ් කණ්ණාඩි බලා පාරේ යනවා නම් එහෙන් මෙහෙන් ගා ගැනිලි නැතුව පාරේ යා හැක්කේය. වෙනත් අතුරු ආන්තරා කෙසේ වෙතත්, තාප්ප කඩාගෙන, වහල ගලවාගෙන ආදී දෙයින් දරුවන් පරිස්සම් කර ගැනීම වූ කලි දවසක දෙකක වැඩකි. මේ ආදී අවලංගු ඉදිකිරීම් සඳහා සොයා බැලීමට වහ වහා වැඩ සතියක් ආරම්භ කළ යුත්තේය. තව ටික දිනකින් බාල්කයක් කඩා වැටී දරුවෙක් මැරුණා කියා පත්තරේ පළමු පිටුවේ දැමීමේ අවශ්‍යතාවයක් කිසිම මාධ්‍යයකට නැත. උපන් දිනය සහ මැරෙන දිනය එකට ඇවිත් රවුම් ගාණකින් ජීවත්වීමේ කාලය තීරණය කර ගැනීම සඳහා ඒ දියණිය උපන්නේ නැත.
ඛේදවාචකය පයිප්පයේ බැම්ම ද ඇඟට කඩා වැටීමෙන් සිදු විය හැකිය. ළමයින්ට හිත ඇත්තේ නළියන්නටමැ බැවින්, අඩමානයට ඇති කිසිවක් ඒ ‘පණවල්’ ගැවසෙන තන්හි නොතැබිය යුත්තේය.
දරුවන් තම නිවසෙහි සුපුරුදු වටපිටාව තුළ ඇතිදැඩි නොවන අවස්ථා ඇත්තේය. නිවසේ ඇතිදැඩි වුවද මවුපිය රැකවරණය නොමැති අවස්ථා ඇත්තේය. වතුර පයිප්පය සවි කර තිබූ තාප්පය කඩා වැටීමෙන් පණනල සිඳී ගිය ෂෙහන්සා සිඟිත්තිය, ඇතිදැඩි වන්නේ අත්තම්මා එක්කය. ඇයගේ මව පවුලේ අනාගතය වෙනුවෙන් දුරු රට ගොසිනි. ඔවැනි දරුවන් යනු අප වඩාත් සෙනෙහසින් හදා වඩාගත යුතු කැකුළුය.
මෑතකාලීන දත්තයන්ට අනුව, නිවසින් බැහැරව රැකවරණය ලබන හෙවත් ආයතනගත දරුවන්ගෙන් 31%කගේ මවුපියන් දෙදෙනාම ද 50%කගේ මාපියන් දෙදෙනාගෙන් එක් අයෙක් ද ජීවත් වෙති. දෙදෙනාම අහිමි අනාථ දරුවන් සිටිනුයේ 18%ක් පමණි. මෙවැනි ඛේදවාචකවලට සමාජය විසින් විසඳුමක් දීම සඳහා ප්‍රතිපත්ති තීන්දු ගත යුතු කාලයේ අපට ඇති ප්‍රශ්නය වනුයේ, තාප්ප කඩාගෙන දරුවෝ මිය යෑමය. තවත් දරුවෝ ගණනක් තාම සිටින්නේ රෝහල්ගතවය.
ස්කූල් වෑන් එකේ සිට දරුවාගේ ප්‍රවාහන මාදිලිය ද අප ප්‍රමිතිගත කළ යුත්තේය. පැටවු හත අට පටවාගත් ‘ටුක් ටුක්’ ටක් ටික් ටුක් අදින්නේ අපේ දරුවන්ගේ ජීවිත සමඟය.
කේක් කපා සිසුවිය සමඟ උපන් දිනය සැමරූ විදුහල්පතිතුමා මේ ‘පෙරළීමට’ කිසිදු සම්බන්ධයක් ඇත්තේ නැත. අපේ එවුන් එහෙම අවස්ථා බලා වල්වාසි ගන්නාහ. මේ පාසලේ උන්නතිය සඳහා දැනෙන මෙහෙවරක් කර ඇති බැවින් ඒ විදුහල්පතිවරයා මවුපියන් අතර ජනප්‍රියය. කොහේදෝ යන ඇරියස් එකක් ඇති පොරක්, මේ අවුල අස්සේ ‘බස බස’ ගා විදුහල්පතිට දෙකක් වනා ගත්තේය. දැන් තුවාල වූ දරුවෝ සමඟ ප්‍රින්සිපල් ද රෝහලේය. වැල්ලම්පිටිය වෙහෙරගොඩ පාසල ඊයේ දිනයේ රටටම පන්ති කාමරයක් විය. ඒ පාඩම වනාහි ආයෙත් තවත් පාසලකින් රට ඉගෙන ගත යුතු නැත.