Wednesday, April 23, 2025
Home » බෝගහවැව විදු අරණ මහ විදුහලට පුස්තකාල පොත් හා පාසල් උපකරණ

බෝගහවැව විදු අරණ මහ විදුහලට පුස්තකාල පොත් හා පාසල් උපකරණ

by sachintha
November 15, 2023 1:00 am 0 comment

නොච්චියාගම අධ්‍යාපන කොට්ඨාසයේ අඩු පහසුකම් සහිත පාසලක් වන බෝගහවැව විදු අරණ මහා විද්‍යාලයීය පුස්තකාලය සඳහා පොත් සහ පාසල් උපකරණ පරිත්‍යාග කිරීමක් පසුගියදා (11) සිදු කෙරිණ.

කොළඹ අලුත්කඩේ සහ ඒ ආශ්‍රිත අධිකරණ නීතිඥ මංඩල සමාජික මහත්මීන් ඇතුළු පිරිසක් විසින් මෙම පරිත්‍යාගය සිදු කරන ලදී. මෙහිදී පාසල් පුස්තකාලය සඳහා අවශ්‍ය පොත් සහ අල්මාරි, සංගීත උපකරණ, පාසලේ සියලුම දරුවන් සඳහා අභ්‍යාස පොත් සහ පාසල් උපකරණ පරිත්‍යාග කිරීම සිදු විය. එමෙන්ම එදින පාසලේ සියලුම දරුවන් වෙනුවෙන් දිවා ආහාරය ලබා දීම ද පරිත්‍යාගශිලීන් විසින් සිදු කෙරිණි.

විදුඅරණ මහා විද්‍යාලයේ විදුහල්පතිනී තරංගා කන්නංගර මහත්මියගේ මඟපෙන්වීම මත සිංහල විෂය භාර ගුරුතුමිය පාසලේ දරුවන් සමඟ එක්ව 2023 වර්ෂය සඳහා වසර මට්ටමින් ක්‍රියාවට නැංවූ පාසල නඟාසිටුවීමේ ව්‍යාපෘතියකට අනුව පාසලට මෙම පරිත්‍යාගය හිමිව තිබේ. මෙම ව්‍යාපෘතියට අනුව නවය ශ්‍රේණියේ සිසු සිසුවියන්ගේ ව්‍යාපෘතිය වී ඇත්තේ පාසල් පුස්තකාලය නගාසිටුවීමයි.

ඒ අනුව පාසල් දරුවන් තම පාසලේ පුස්තකාලය සහ පාසලේ ඇති අඩුපාඩු සඳහන් කරමින් එම අඩුපාඩු සපුරාලීම සඳහා සහාය වන ලෙස ඉල්ලා ලංකාවේ ප්‍රධාන පෙළේ පාසල් 30ක් සඳහා ලිපි යොමු කර ඇත. ඒ අනුව නවය වසර ඉගෙනුම ලබන පාලිකා එරන්දි සිසුවිය විසින් මාතර දෙනියාය මහා විද්‍යාලය වෙත යොමු කරන ලද ලිපිය එම විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින් තම විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය වෙත යොමු කර ඇත.
එම ඉල්ලීම නීතිඥ පූර්ණිමා ඥාණසේකර මහත්මියට ලැබී ඇත. ඇයගේ ප්‍රධානත්වයෙන් විවිධ ආයතන සහ පුද්ගලයන්ගේ සහයෝගය මත මෙම පරිත්‍යාග සියල්ල ඒකරාශී කර කර ඇත.

මෙහිදී පාසල් දරුවන්ගේ නැටුම් ගැයුම් ඇතුළත් විවිධ ප්‍රසංගය ද පැවැති අතර, පැමිණි නීතිඥ මහත්වරුන් හා දේශකයන් පාසල් දරුවන් හා ආචාර්ය මණ්ඩලය දැනුම්වත් කිරීමේ දේශන කිහිපයක් ද පැවැත්විණ. පුර්ණිමා ඥාණසේකර මහත්මිය විසින් විදුහල්පතිනී තරංගා කන්නන්ගර මහත්මිය හා පාසල් දරුවන් වෙත මෙම පුස්තකාල පොත් සහ උපකරණ සංකේතවත් ලෙස භාර දීම සිදු කරන ලදී.

ගම්පහ පහළගම ශ්‍රී දේවානන්ද දහම්පාසලේ ආචර්ය මණ්ඩලය සහ හිටපු ‘දිනමිණ’ ප්‍රාදේශීය නි. කර්තෘ නිශ්ශංක හේවාපන්න මහතා සමඟ ගම්පහ යුනිඩීල් පැකේජීන් ප්‍රයිවට් ලිමිඩට් ආයතනය, නාලක අභ්‍යාසපොත් පෞද්ගලික සමාගම ඇතුළු ආයතන හා පුද්ගලයින් පිරිසක් මෙම සත්කාර්යය සඳහා සහයෝගය දක්වා තිබේ.
තඹුත්තේගම – ධර්මකීර්ති

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT