ජර්මනියේ සිට පැමිණි මිතුරාට දීපාවලියට මත්පැන් සාදයක් ලබා දීම සඳහා අසල නිවසක සිටි එළුවකු මරා මස් කළ පුද්ගලයෙකු පේදුරුතුඩුව පොලිසිය විසින් පෙරේදා (13) අත්අඩංගුවට ගෙන තිබේ.
යාපනයේ පදිංචිව සිටි අයෙකු මීට වසර කීපයකට පෙර ජර්මනියට ගොස් එහි රැකියාවක් කරන අතරේ ජර්මන් ජාතික කාන්තාවක් සමඟ විවාහ වී ඇත.
එම මිතුරා මෙවර දීපාවලී උත්සව සමයේදී යාපනයට පැමිණෙන නිසා ඔහුගේ මිතුරා ඔහුට සැලකීම සඳහා එළුවා මරා මස් කොට කටගැස්ම හා ආහාර පිළියෙල කොට තිබේ.
එළුවා අතුරුදහන් වීමෙන් පසුව එළුගාල් හිමියා ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත් වූ පොලිසිය ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
මේ සිද්ධිය දැනගත් ජර්මන් ජාතික කාන්තාව සිය සැමියාට බැණ වැදී එළුවාගේ අයිතිකරු හමු වී ඔහුට එළුවාගේ වන්දියටත් වඩා වැඩි මුදලක් ගෙවා ඔහු ලවා පැමිණිල්ල ඉල්ලා අස් කරගෙන තිබේ. ඒ අනුව එළුවා හොරකම් කොට මරා මස් කළ පුද්ගලයා නිදහස් වී ඇත.
උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ