වෛද්‍ය වට්ටෝරුවක් නොමැතිව අලෙවි කිරීමට තහනම් වේදනා නාශක පෙති වැඩි මිලට අලෙවි කරන ලද අක්මීමන තලගහ හන්දියේ ඖෂධ ශාලාවක් වටලා එම වේදනා නාශක පෙති තොගයක් ගාල්ල දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන් විසින් පෙරේදා (13) සවස අත්අඩංගුවට ගෙන ඇත.
මෙම ඖෂධ පෙති අධික වේදනා නාශකයක් වන අතර, මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහිවූවන් මත්ද්‍රව්‍ය වෙනුවට මෙම පෙති පානය කරන බවත් මෙම බෙහෙත් පෙති වෛද්‍ය වට්ටෝරුවක් නොමැතිව අලෙවි කිරීම සම්පූර්ණයෙන්ම තහනම් බවත් ආහාර හා ඖෂධ පරීක්ෂකවරු පවසති.
එහෙත් මෙම ඖෂධ ශාලාවේ මෙම බෙහෙත් පෙති වෛද්‍ය වට්ටෝරුවකින් තොරව වැඩි මිලට අලෙවි කරන බවට ලද තොරතුරක් මත උපාය දූතයෙකු යොදවා ඖෂධ තොගය අත්අඩංගුවට ගෙන ඇත. රුපියල් 570ක් වන පෙති දහයක් අඩංගු කාඩ්පතක් රුපියල් 2000ක් වැනි අධික මිලට විකුණන බවද එහිදී අනාවරණය වී ඇත.
ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ එම්. කේ. සෝමරත්න මහතාගේ උපදෙස් පරිදි ගාල්ල දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන් වන එස්. එස්. හපුආරච්චි, ඩී. එස්. පී. ගුණසේකර යන මහත්වරුන් විසින් මෙම වැටලීම සිදු කර ඇති අතර සැකකාර ඖෂධ ශාලා හිමියාට එරෙහිව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට නියමිතය.
දකුණු පළාත් සංචාරක – එස්. දීයගහගේ